සජිත්ගේ රජය යටතේ පොලිස් නිළධාරීන්ට රු.20,000ක දීමනාවක්...

නොවැ 04, 2019

    තමන්ගේ නායකත්වයෙන් යුතු නව රජය යටතේ මෙරට පොලිස් නිලධාරීන් සඳහා රුපියල් 20,000ක ගමන් වියදම් දීමනාව සහ ආහාර දීමනාව ද ලබාදීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කලවාන නගරයේ පැවති ජන හමුවකට ඊයේ (03) එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    පොලිස් සේවයේ නියුතු සෑම නිලධාරියෙකුටම රුපියල් 20,000ක ගමන් වියදම් දීමනාවක් ලබා දීමට සති කිහිපයකට ඉහත දී අප කටයුතු කළා. නමුත් ප්‍රතිවාදීන් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් එම දීමනාව ලබා දීම නතර කළා. ජනාධිපතිවරයා ලෙස මා පත්වූ විගස එම ගමන් වියදම් දීමනාව හා ආහාර දීමනාව උස් පහත් භේදයෙන් තොරව සියලුම පොලිස් නිලධාරීන් වෙත ලබා දෙනවා.

    රුවන්පුර අධිවේගී මාර්ගය පරිසර හිතකාමී ලෙස කඩිනමින් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඉඩංගොඩ - කලවාන මාර්ගය මන්තීරු 2ක් සහිතව ඉදිකරනවා. කුකුලේගම විදුලි යෝජනා ක්‍රමය නිසා විපතට පත් පවුල්වලට වන්දි ලබාදී සහන සලසනවා. කුඩා තේ වතු හිමියන් හා තේ කර්මාන්ත ශක්තිමත් කරනවා. පරිසර හිතකාමී පතල් කර්මාන්තය සිදු කිරීමට අවස්ථාව ලබා දෙනවා. කලවාන ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය ලැබෙන සංචාරක කලාපයක් බවට පත් කරනවා. අවදානම් සහිතව පතල් කර්මාන්තයේ නියැලෙන ජනතාවට සහ එම පවුල්වල දරු දැරියන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයන් ආරම්භ කිරීමට කටයුතු කරනවා.

    16වැනිදා අප ආරම්භ කරන්නේ අළුත් ගමනක්. තර්ජනයෙන්,මර්දනයෙන් තොර, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින, පොදු ජන අයිතිය ශක්තිමත් කරන නව ගමනක්. මෙර සමස්ත පුරවැසි පරපුර රැක ගැනීම සඳහා දිවා රෑ නොබලා වැඩ කර, ශීඝ්‍රාගමී සංවර්ධන යුගයක් රටතුළ තමන් නිර්මාණය කරනවා.

    ..............................................................................................

    ප්‍රතිවාදී අපේක්ෂකයා ඔහුගේ පටු චිත්‍රය රටට පෙන්වමින් ටෙලිප්‍රොම්ටර් දේශපාලනයක නිරත වන බවත්, තමන් සමග ප්‍රසිද්ධ විවාදයක බිය වී නිහඩව සිටින්නේ, ඔහු රටට සඟවමින් සිටින ඔහුගේ පුළුල් විත්‍රය හෙළිවෙන නිසා බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

    තම රජය යටතේ පොලිස් උපසේවාවේ උසස්වීම් ලබා දෙන විට, සේවයට බැඳුණු දිනය සැලකිල්ලට ගෙන උසස්වීම් ලබා දීමට කටයුතු කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ,හිනිඳුම,මාපලගම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට ඊයේ (03) දින එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    පොලිස් සේවය රටට ආඩම්බරයක්,ශක්තියක්,අඩු පහසුකම් මැද විවිධ ගැටළු වලට මුහුණ දෙමින් ඔවුන් සිදු කරන රාජකාරිය විශිෂ්ටයි. තමන් බලයට පත්වූ වහාම සියලුම පොලිස් නිලධාරීන්ට රුපියල් 20,000ක ගමන් විදමින් දීමනාවක් හා ආහාර දීමනාවක් ද ලබාදීමට කටයුතු කරනවා. ගමන් වියදම් දීමනාව සති කිහිපයකට ඉහත දී ලබා දීමට අප කටයුතු කළා. නමුත්, ප්‍රතිවාදී අපේක්ෂකයින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එය පැමිණිලි කර නවත්වනු ලැබුවා.

    මේ වන විට තමන්ගේ සහ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ. ඒ පිළිබඳව විවාදයක් සිදුකර රටේ ජනතාවට කරුණු දැනගෙන තීරණයක් ගැනීම ඉතා වැදගත්. ඒ නිසා මම ඔහුට විවාදයකට ආරාධනා කර දැන් සති කිහිපයක් ගත වෙලා තියෙනවා. සජීව විවාදයකට පැමිණියහොත් ඔහුට විවාදයකට ආරාධනා කර දැන් සති කිහිපයක් ගත වෙලා තිබෙනවා. සජීවී විවාදයකට පැමිණියහොත් ඔහුගේ තරම හෙළිවේ යන බියෙන් ඔහු විවාදය මගහරිනවා..යනුවෙන් ද පැවසීයි.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 09:54

    Latest News