එජාපය දිනවන අශ්වයෙකු ගැන හෙලිදරව්වක්

දෙසැ 04, 2018

    අපි ඉදිරි මැතිවරණය සඳහා දිනන අශ්වයෙක් ලෑස්ති කරන බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

    අශ්වයාගේ නම ප්‍රකාශ කිරිමෙන් ජනතාව තුල විශාල පිබිදීමක් ඇති වෙනවා යැයි ද කියා සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඉෂාක් රහුමාන් - “අපිට දැනට 124 දෙනෙකුගේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. උසාවි තීන්දුවත් සමඟ එය 130 ක් දක්වා වර්ධනය වෙයි කියලා මම හිතනවා. අපි මේ අරගල කරන්නේ අපේ වාසිය තකා නෙමෙයි. මේ රටට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව අනුවයි අපි වැඩකටයුතු කරන්නේ. අපි මැතිවරණ වලට භය නෑ. අපි දැන් හොඳ අශ්වයෙක් ලෑස්ති කරලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඒ අශ්වයා දැම්මොත් වැඩි බහුතරයකින් මේ සැරේ නැවත වතාවක් අපි බලය ගන්නවා. ඒ අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්, දැම්ම කියන්න ඕන නෑ. රේස් එක දැනටමත් අපි දිනලා ඉවරයි. අශ්වයාගේ නම කියන කොට ජනතාව තුල මහා විශාල පිබිදීමක් ඇති වෙලා තියෙනවා. සමහරු ඒ අශ්වයාගේ නම අහලා දැනටමත් ඔට්ටු අල්ලන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කැමතියි මේක හොඳ අශ්වයෙක් දාලා දිනවන්න. මැතිවරණය එද්දී එතුමා වගේම පක්ෂයේ සියලු දෙනා තීරණය කරයි ඒ වෙලාවට සුදුසුම කෙනා අපි දානවා.

    මැතිවරණයට යාමට පෙර රටේ ව්‍යවස්ථාවට ගරු කළ යුතු බව ඔහු කියා සිටියි. ව්‍යවස්ථාවට ගරු නොකරන්නේ නම් එයින් වැඩක් නොමැති බව ඊෂාක් රහුමාන් පෙන්වා දුනී. එසේ නොවුන වුවහොත් රජවරු පාලනය කළ අන්දමින් තමන්ට අවශ්‍ය විදියට රටේ ක්‍රියා කරන්නට යාවි යැයි ද පැවසු ඉෂාක් රහුමාන් මහතා - “ව්‍යවස්ථාවට ගරු කරන්න ඕන කියලා තමයි අපි 124 දෙනාම එකට ඉන්නේ. අපේ කාලේ තෙල් මිල වැඩියි දැන් අඩුයි කියනවා, හැබැයි ලෝක වෙළඳපලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා, තවත් අඩු වෙනවා. ලෝකයේ අඩු වෙන කොට ලංකාවෙත් අඩු වෙනවා. මෙතනින් පස්සේ අපි ආණ්ඩු ගත්තාම අපිත් අඩු කරන්න ඕන, එහෙම නොකොලොත් අපේ අයට විරුද්ධව අපිම අරගල කරනවා. අපි කියන්නේ බැදුම්කර හොරු වගේම ඊට කලින් හොරකම් කරපු පරණ හොරු ටිකකුත් ඉන්නවානේ, ඒ සියලු හොරු ටික අකුළලා දාන්න ඕන. වැරදි කරපු අය ජම්පර් අන්දලා හිරේට දාන්න ඕන. 225 න් කීප දෙනෙක් හරි ඉතුරු වෙලා හොඳ අය පාර්ලිමේන්තුවේ ඉතුරුවෙයි. පාර්ලිමේන්තුව දැන් මොන්ටිසෝරියකටත් අන්ත වෙලා“ යැයි ද පැවසීය.

    Latest News