“සෞභාග්‍යයේ දැක්ම” ලක්ෂයකට පදිංචි ප්‍රදේශයේම 35,000ක වැටුපකට රැකියාවක් - ජනවාරි 15 සිට ව්‍යපෘතිය ක්‍රියාවට

දෙසැ 18, 2019

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික පියවර සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඉතාමත් දිළිඳු මට්ටමේ පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අරමුණ වේ.

    එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනා ගෙන සුදුසු ක්ෂේත්‍රයන්හි පුහුණුව ලබාදී රැකියා අවස්ථා ලබාදීම මෙමඟින් සිදු කෙරේ.

    president4 px 900 19 12 18

    කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනේ. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරේ. ඔවුන් මෙහෙයවීමේ හා කළමනාකරණ කාර්යයන් සඳහා ද තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය වේ. උපාධිධාරින් 10,000 (දස දහසකට) පමණ කළමනාකරණ හා ක්ෂේත්‍ර මට්ටමේ අධීක්ෂණ තනතුරු සඳහා රැකියා අවස්ථා ද මේ යටතේ විවෘත වනු ඇත.

    එ අනුව දුප්පත්කම තුරන් කිරිම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහන ජනවාරි 15 වනදා ආරම්භ කෙරේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම සංකල්පය මගින් වාර්ෂිකව කෘෂි නිෂ්පාදන ආනයනය සඳහා කෙරෙන රුපියල් මිලියන 2000ක මුදල පහළ මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා පෙන්වා දුන්නේය.

    රජයේ දේපළ නඩත්තුව සහ සිවිල් කාර්යයන් සඳහා රජයේ නියෝජිතයන්ට සහායවීම, ඩෙංගු ඇතුළු රෝග මර්දනයට දායකවීම, ස්වභාවික ආපදාවලදී සහාය ගැනීම, ග්‍රාමිය යටිතල පහසුකම් නඟා සිටුවීම, වෙරළ සංරක්ෂණයට සහායවීම වැනි ක්ෂේත්‍ර සඳහා ද මෙම බලකායේ සහාය ලබා ගැනේ.

    ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතා මත විදේශ රැකියා අවස්ථා උදාකරදීමට තවත් අදියරක් යටතේ අපේක්ෂා කෙරේ. වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශ්‍රාම වැටුප් ක්‍රමයකට ද මේ පිරිස දායක කර ගැනිමට සැලසුම් කර ඇත. සුදුසුකමක් අවශ්‍ය නොවන රැකියා සඳහා අධ්‍යපනය සහිත පිරිස් බඳවා ගැනීමෙන් දීර්ඝ කාලීනව වූ දේශපාලනික වරද නිවරැදි කර අඩාල වූ සේවාවන් විධිමත්ව ලබාගැනීමට මෙය අවස්ථාවක් වනු ඇතැයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දුන්නේය.

    president4 px 900 19 12 18

    මෙම බලකායට නිවරැදිම සුදුස්සන් බඳවා ගෙන, ඔවුන් පදිංචි ප්‍රදේශයේම රැකියා අවස්ථාව අනිවාර්යයෙන්ම ලබාදි යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.රුපියල් 3500ක් වැනි සමෘද්ධි ආදායමක් ලැබූ පිරිසට රුපියල් 35,000 දක්වා ආදායමක් ලැබීමට මේ නිසා හැකි වේ. එය රට තුළ ආකල්පමය වෙනසක් සිදු කිරීමට පාදක වනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. මෙය දිළිඳු පවුල් සඳහා පමණක්ම විය යුතුය. නිවසටම ගොස් සැබෑ තතු විමසා සුදුස්සන් බඳවා ගැනීම කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. බඳවා ගැනීම් වලදී මෙතෙක් වු වැරදි සිදුවීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    පවිත්‍රා වන්නිආරච්චි, ෂෙහාන් සේමසිංහ, තාරක බාලසූරිය යන මැති ඇමතිවරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන කාංචන ජයරත්න, ජගත් කුමාර, ඩබ්.ඩී. වීරසිංහ යන මහත්වරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු නිලිධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News