පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ පෙත්සම් විභාගය

දෙසැ 05, 2018

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කලේය.

    අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ බව අවධාරණය කෙරිණ.

    අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

    නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුලින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර ඇති බව කියා සිටියේය. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුකම ව්‍යවස්ථාව 38 (2) (අ ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේය. එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ සිටියේය.

    ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

    එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි.

    වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපති ජයන්ත ජයසූරිය මහතා ජනාධිපතිවරයා විසින් මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාර බවද වැඩිදුරටත් කියා අවධාරනය කලේය. ඒ තුළින් ඔහු කිසිදු ආකාරයක මූලික අයිතීන් කඩ කිරීමක් සිදුකර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දිනී.

    ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කෙරිණ.

    අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූල ආකාරයට සිදුකර ඇති බවයි. ආණ්ඩුකම ව්‍යවස්ථාවෙ සිංහල පිටපතෙහි 62 (2) වගන්තිය ප්‍රකාරව යම් පාර්ලිමේන්තුවක් තේරී පත්වූ දින සිට එහි කාල සීමාව අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ලබාදී තිබෙන බව මෙහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයා විසින් 62 (2) වගන්ති යටතේ සිදුකර ඇතැයි සඳහන් කළ ඔහු ඒ අනුව අදාළ විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව කියා සිටියේය.

    වැඩිදුර විභාගය හෙට දිනට කල් තැබුණි.

    ජනාදිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ,ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 06 දෙසැම්බර් 2018 07:24

    Latest News