ශ්‍රී ලංකාව අඛණ්ඩව 09වැනි ජයග්‍රහණයත් හිමිකරගනියි

ජූලි 07, 2023

    ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 08ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, සිම්බාබ්වේ හරාරේ හිදී. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබාදුන්නා. ඒ අනුව කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 243ක් රැස් කළා. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කේසි කාටි ලකුණු 87යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 02ක් දවාගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 244ක ඉලක්කයක් හිමිවුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් විශිෂ්ට ලකුණු 190ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වුණා. පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවීගියේ ලකුණු 104කට.

    දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවීගියේ ලකුණු 83ක් ලබා සිටියදී. එවිට ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 204ක් ලෙසයි. ඉන්පසු කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියා. ඒ අනුව පන්දුවාර 44යි පන්දු 02ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 244ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

    Latest News