අද ඇරඹෙන සුපිරි 08 සටන

ජූනි 19, 2024

    20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය අද ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ, සත්කාරක අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

    මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 20 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වැදුණා. එහිදී, 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම, සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම ද විශේෂත්වයක්.

    මෙවැනි පසු බිමක ශ්‍රී ලංකාව, පකිස්තානය නවසීලන්තය වැනි රටවලට අවාසනාවන්ත ලෙස තරගයේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා. සුපිරි 8 දෙනාගේ වටය, කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු කාණ්ඩයේ තරගවදින්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇ‍ෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම්.

    අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව, දෙවැනි කාණ්ඩය යටතේ තරගවැදීමට නියමිතයි. ඒ අනුව, සුපිරි අටදෙනාගේ වටය ආරම්භ කරමින් පළමු තරගය අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.

    ඒ අද රාත්‍රී 8.00 ට බටහිර ඉන්දීය කොදෙව් හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගනයේදී. සුපිරි අට දෙනාගේ වටයේ සියලු තරග, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන අතර, ඒ, ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වයන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

     

    Latest News