ශ්‍රී ලංකා යෝකර් රජු මාලි...සොඳුරු මිතුදම සමඟින් සමුගැනීමට සූදානම්

ජූලි 23, 2019

    වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම සඳහා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ 3 වන තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    මේ අතර ලසිත් මාලිංග තමා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව, නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව, ලබන 26 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගය ඔහුගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය වනු ඇත. 2004 වසරේ දඹුල්ලේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිව එක්දින වරම් හිමිකර ගත් ලසිත් මාලිංග, මේ වනතෙක් වසර 16ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. එකල ඔහුගේ පන්දු යැවීමේ ශෛලිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවාදාත්මක මාතෘකාවක් වූ අතර, ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අමානන්දයට පත් කරන්නන් ද විය. එක්දින ක්‍රිකට් තරග 225කට ක්‍රීඩා කළ මාලිංග දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 335ක්. එය මෙරට ක්‍රීඩකයෙකු දවාගත් වැඩිම තුන්වැනි කඩුලු සංඛ්‍යාවයි. වසර ගණනාවක් මාලිංග එක්දින පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණ රැසකට ඉහළ දායකත්වයක් ලබාදුන් වේගපන්දු යවන්නෙක්. එක්දින ක්‍රිකට් පිටියේදී කඩුලු ත්‍රිත්ව තුනක් දවාගත් එකම පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංගයි. ඔහු එම දක්‍ෂතාව දක්වා තිබෙන්නේ දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ කෙන්යාවට එරෙහිවයි.

    මේ අතර, 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවට එරෙහිව පිට-පිට පන්දු 04කදී කඩුලු 04ක් දවාගත්තේය. එවැනි දක්‍ෂතාවක් දැක්වූ ලොව එකම පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංගයි. ඔහු ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ තම ප්‍රේක්‍ෂකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, 26 වැනිදා පැවැත්වෙන තරගය නැරඹීමට පැමිණෙන ලෙසයි. ලසිත් මාලිංග සහභාගිවන අවසන් එක්දින තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ සිටියහ.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 20:37

    Latest News