දෝනි ක්‍රිකට්වලින් හමුදාවට

ජූලි 22, 2019

    මහේන්ද්‍ර සිං දෝනි, 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවැත්වෙන ඉන්දියාව හා බටහිර කොදෙව් අතර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන බව වාර්තාවේ.

    අගෝස්තු 3වන දා ආරම්භවන ඉන්දියානු සංචාරය සඳහා ටෙස්ට් තරග 2ක් එක්දින තරග 3ක් සහ T20 තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එම තරගාවලියේදී රිෂාභ් පන්ට් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව ඉන්දීය ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුවේ ප්‍රධානී එම්. එස්. කේ. ප්‍රසාද් ප්‍රකාශ කර තිබේ. ඒ අතර මහේන්ද්‍ර සිං දෝනි තමන් ඉදිරි මාස 2ක් සඳහා ක්‍රිකට් තරගවලට සහභාගී නොවන බව ද දන්වා ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

    මහේන්ද්‍ර සිං දෝනි එම කාලය අතරතුරදී තමන්ගේ හමුදා රෙජිමේන්තුව වන ඉන්දීය පලාත් බද හමුදාවේ (Territorial Army) 106වන පාබල රෙජිමේන්තුවේ සේවය සඳහා අනුයුක්ත වන බව දන්වා ඇත.

    ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජය වූයේ දෝනිගේ මන්දගාමී පිතිහරඹය හා තීරණාත්මක මොහොතේ දුවද්දී දැවීයාම නිසා බව ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ මතයයි. දෝනි මේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් කලකට ඉවත්ව ඇතැයි ඇතැම් විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර ඇත.

    මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය පලාත් බද හමුදාවේ (Territorial Army) පැරෂූට් රෙජිමේන්තුව වන 106වන පාබල රෙජිමේන්තුවේ ගෞරව ලුතිතන් කර්නල් ධූරයක් දරයි. එය 2011 වසරේදී ඔහුට ගෞරවයක් වශයෙන් එවක ඉන්දීය ජනපති විසින් ඔහුට පිරිනමා ඇත. ඉන්දියානු පැරෂූට් භටයෙකු වශයෙන් අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු පැරෂූට් පැනීම් 5ක් මේ වන විට දොනි සම්පූර්ණ කර ඇති බව වාර්තාවේ.

    මාස දෙකක මෙම හමුදා සේවා කාලය සඳහා ඉන්දීය හමුදා ප්‍රධානියාගේ අනුමැතිය ද හිමිව ඇති අතර ඔහුගේ රෙජිමේන්තුව මේ වන විට ජම්මු හා කාෂ්මීර් ප්‍රදේශයේ සේවයේ යොදවා ඇත.

    ඉන්දීය පැරෂුට් රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල්වරයා ලෙස ඉදිරි මාස දෙකක කාලය සිය රෙජිමේන්තුවේ ගතකරන දෝනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සම්බන්ධයෙන් කිසිවක් තවම ප්‍රකාශ කර නැත.

    මේ වන විට 38 හැවිරිදි වියේ සිටින මහේන්ද්‍ර සිං දෝනි එක්දින තරග 350 කට සහභාගි වූ ක්‍රීඩකයෙකි. දැන්ම ක්‍රිකට් පිටියෙන් සමුනොගන්නා ලෙස ඔහුගෙන් ආයාචනා කළ අය අතර හින්දි සිනමාවේ අසහාය පසුබිම් ගායිකාව වන ලතා මංගේෂ්කාර් මහත්මියද වන්නීය. වසර 2014 දී ටෙස්ට් පිටියෙන් සමුගත් දෝනි 2007 දී විස්සයි-20 ලෝක කුසලාන ජයගත් ඉන්දීය කණ්ඩායමේ මෙන්ම 2011 දී එක්දන ලෝක කුසලාන ජයගත් ඉන්දීය කණ්ඩායමේත් නායකයා විය.

    Last modified on සදුදා, 22 ජූලි 2019 15:25

    Latest News