මේ තත්වයට මුහුණ දී ඇත්තේ, රෝග පාලනයට නිසි සැලසුම් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ රාජ්‍යයන්. වඩාත් බහුල වශයෙන් එම ඉරණමට මුහුණ දී ඇත්තේ ලතින් අමෙරිකානු කලාපීය රටවල්. බොලීවියාව යනු කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා අසරණ වූ තවත් රාජ්‍යයක්.
බොලීවියාව නමැති රාජ්‍යය පිහිටා ඇත්තේ දකුණු අමෙරිකානු මහාද්වීපයේ බටහිර මධ්‍ය ප්‍රදේශයට නැඹුරුවයි. දේශපාලන අර්බුද, කුමන්ත්‍රණ හා දිළිඳුකම මුල්කර ගනිමින් බොලීවියාව පවතින්නේ අස්ථාවර තත්වයක. කොරෝනා වෛරසය එරට ජන ජිවිතය කබලෙන් ලිපට ඇද දැමීමට හේතුවී තිබේ.
පැය 24 පුරා නැගෙන මේ කළු දුමාරය බොලීවියාවේ ලාපාස් අගනුවර ජනතාව පීඩාවට පත් කිරීමට හේතුවක්. එහෙත් මෙය කාර්මික හෝ කසළ දහනය නිසා ඇතිවන දුමක් නොවේ. දෛනිකව මියයන සියගණන් කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු දැවීමෙන් නැගෙන දුමාරය අගනුවර වැසියන්ගේ සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරවීමට මුල්වී තිබේ. “දුමාරය සහ ගන්ධය ඉවසන්නට බැහැ. එය අපිව රෝගීන් කරනවා. නගරයෙන් පිටත තැනකදී මළසිරුරු ආදාහනය කරන ලෙස අපි ඉල්ලන්නේ“.
අගනුවර වැසියන් මෙසේ ඉල්ලුවත් රටේ බොහෝ ප්‍රදේශවල සුසාන භූමිවල ඉඩකඩ මේ වනවිට මදිවී තිබේ. මේ නිසා බොලිවියානු වැසියන්ට සිදුවී ඇත්තේ, මියයන කොරෝනා ආසාදිත ඥාතීන් සුසාන භූමියක ඉඩ ලැබෙන තෙක් නිවසේ තබාගෙන සිටීමටයි. නිවෙස්වල ඉඩ නැති අය, මළ සිරුරු මහ මඟ තබාගෙන සිටිනු දැකීම සුලබ දර්ශනයක්. “අනේ මට මගේ සහෝදරියගේ සිරුර මේ ආකාරයෙන් මහ මඟ තියාගෙන ඉන්න බැහැ. කරුණාකර ඇය භූමිදාන කිරීමට ඉඩ සලසා දෙන්න“
එලෙස මළසිරුරු තබාගෙන සිටීමට නොහැකි පුද්ගලයන් ඒවා මහමඟ දමා යනවා. ඇතැම් අය ඉඩ ලැබෙන තැනක එනම්, මාර්ගය අයිනේ පවා සිරුරු වළලනවා. මේ තත්වය උදාවී ඇත්තේ බොලිවියාවේ රෝහල් පද්ධතිය කොවිඩ් 19 රෝගයත් සමඟ එහි උපරිම ධාරිතාව ඉක්මවා යාම නිසයි. බොලිවියාවේ අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආනේස් හා කැබිනට් ඇමතිවරු 7 දෙනෙක් මේ වනවිට කොරෝනා ආසාදනයට ගොදුරු වී තිබේ.