ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීම උග්‍ර ගැටලුවක්

අප්‍රේ 23, 2021

    ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීම උග්‍ර ගැටලුවක් වී තිබේ.

    රෝහල්වල ද ඔක්සිජන් දැඩි හිඟයක් පවතින බව වාර්තාවේ. ඇතැම් ප්‍රාන්ත බලධාරීන් ප්‍රාන්තයෙන් ඉවතට ඔක්සිජන් ප්‍රවාහනය තහනම් කර ඇත්තේ මතුව ඇති ඔක්සිජන් හිඟය සැලකිල්ලට ගනිමින්.

    ඉන්දියාවේ දැඩි සත්කාර ඒකකවල ඇඳන්වලින් 99%කට වැඩිය පිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් තුන් ලක්‍ෂ 32,503 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර, එය දිනකදී රටකින් මෙතෙක් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

    ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් ප්‍රදේශ රැසක් ආශ්‍රිතව අලුතින් අගුලු දැමීමේ නිවේදන නිකුත් කර තිබේ. කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් ද මතුව ඇත්තේ දැඩි ගැටලුකාරි තත්වයක්. මරණ ආදාහනය විශේෂ ක්‍රමවේදයක් යටතේ සිදු කළ යුතුව තිබුණද එරට එළිමහන් ආදාහනාගාරවල මළසිරුරු විශාල වශයෙන් ගොඩගැසී තිබේ.

    ඇතැම් දිනවල සිරුරු 80ක් පමණ එළිමහනේ ආදාහනය කෙරෙන බව ද වාර්තාවේ. බොහෝ ආදාහනාගාර පැය 24 පුරා ක්‍රියාත්මකයි. මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් සේවකයන් නොමැති වීමෙන් ස්වේච්ජා කණ්ඩායම්වල සහය ලබා ගැනීමට ද රජයට සිදුව තිබේ.

    එරටින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් හමුවී ඇති අතර, එම ඇතැම් ප්‍රභේද එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ලොව විශාලතම එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටිය ද ඉන්දියාව බරපතල අර්බුදයකට මුහුණ පා සිටී.

    මුම්බායි හි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක අද උදේ ඇති වු ගින්නකින් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 13ක් මියගොස් තිබේ. ඉන් බේරාගත් සිව් දෙනෙකු වෙනත් රෝහලකට මාරු කෙරිණ. උග්‍රවන කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාවට සහය ලබාදීමට චීනය සූදානම් වේ.

    ලොව බොහෝ රටවල් ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමටයි, කටයුතු කර ඇත්තේ. කැනඩාව අද සිට දින 30ක් යන තෙක් ඉන්දියාවේ සහ පකිස්තානයෙන් පැමිණෙන සියලු මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

    Latest News