ඉන්දියාවේ ආසාදිතයින් හුස්ම ගැනීමේ අරගලයක

අප්‍රේ 24, 2021

    ඉන්දියාවේ රෝහල්වල ඔක්සිජන් හිඟය නිසා කොරෝනා ආසාදිතයන් මියයමින් පවතියි.

    ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය නිසා බරපතල ස්වසන ආබාධවලට රෝගීන් ලක් වීම ඊට හේතුවයි. බිහිසුනු කොරෝනා ව්‍යාප්තිය නිසා මතුව ඇති අර්බුදය ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වනු ලබන්නේ, හුස්ම ගැනීමේ අරගලය ලෙසයි.

    නවදිල්ලි අගනුවර පිහිටි ගංගාරාම් රෝහලේ පමණක් ඊයේ දිනය තුළ ඔක්සිජන් නොමැති වීම නිසා රෝගීන් 25කට අධික සංඛ්‍යාවක් මිය ගියේය.

    තවත් 60කට අධික සංඛ්‍යාවකට එවැනි ඉරණමක් අත්වීමේ අවධානමක් පවතින බවයි, වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.

    එරට දෛනිකව නිෂ්පාදනය කෙරෙන ඔක්සිජන් මෙට්‍රික් ටොන් 7,400න් 90%කට වැඩි සංඛ්‍යාවක් වෛද්‍ය සේවා සඳහා යොදවා ඇති බවයි, වාර්තා වන්නේ.

    සාමාන්‍ය කාලවල දී රෝහල් පරිහරණය සඳහා අවශ්‍ය වන්නේ, දෛනික ඔක්සිජන් නිෂ්පාදනයෙන් 15%ක් පමණයි.

    මේ දිනවල කාර්මික කටයුතු සඳහා ඔක්සිජන් නිකුත් නොකරන බවයි, නිෂ්පාදනාගාර ප්‍රකාශ කරන්නේ. රෝහල්වලට ඔක්සිජන් නොමැතිවීම නිසා ජනයා කාර්මික ඔක්සිජන් පවා තම ඥාතීන්ට ලබාදීමට උත්සහ දරමින් සිටියි.

    මේ නිසා අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක ඔක්සිජන් පිරවුම් මධ්‍යස්ථානවල පැවතියේ දැඩි කලහකාරී තත්වයක්. පෞද්ගලික මට්ටමින් ඔක්සිජන් සිලින්ඩර් රැගෙන ඒවා පුරවා රෝහල්වලට ලබාදී මරණ මංචකයේ සිටින තම ඥාතීන් බේරා ගැනීමට ජනයා ඉතා ඛේදනීය උත්සහයක නිරතව සිටියි.

    Last modified on සෙනසුරාදා, 24 අප්‍රේල් 2021 12:02

    Latest News