ඇෆ්ගනිස්තානයේ නගර කිහිපයක තලෙබාන් සංවිධානයට එරෙහිව විරෝධතා

අගෝ 19, 2021

    තලෙබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගන් රජයට හා අමෙරිකානු හමුදාවට සහයෝගය ලබා දුන් පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇති බව,  එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වා දෙනවා.

    ඇෆ්ගනිස්තානයේ නගර කිහිපයක තලෙබාන් සංවිධානයට එරෙහිව විරෝධතා පැවැත්වෙනවා. තලෙබාන් සංවිධානය රටේ පාලනය සියතට ගත් වහාම ඉතා මානුෂිවාදී මුහුණුවරක් පෙන්නුම් කළ ද මේ වන විට ඔවුන් සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවලට එළඹෙමින් සිටින බවයි,  විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. එරට සාමාන්‍ය ජන ජීවිතය විශාල ලෙස අවුල් සහගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. නගර කිහිපයක ආර්ථිකය විශාල ලෙස පරිහානියට ලක්ව ඇති බවයි එරට ජනතාව චෝදනා කරන්නේ. භාණ්ඩ මිල ඉතා ඉහල ගොස් තිබෙනවා.

    ඇෆ්ගනිස්තානයෙන් පලායාමට ජනතාව විශාල වශයෙන් උත්සහ කරමින් සිටිනවා. මේ නිසා කාබුල් ජාතික ගුවන් තොටුපොළේ තත්වය පාලනය කර ගැනීමට පවා අපහසු වී ඇති අතර, අමෙරිකානු හමුදාව ජනතාව පාලනය කිරිමට ඊයේ රාත්‍රී කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා. ඇෆ්ගනිස්තානයේ සිටින අවසන් ඇමෙරිකානු පුරවැසියා පිටත්ව යන තෙක් ඇමෙරිකානු හමුදාව එරට රැඳී  සිටින බවයි. අමෙරිකානු රජය පවසා සිටින්නේ.

    තලෙබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර අද නිදහස් උත්සවයක් සංවිධානය කර තිබුණා. එහිදී වෙඩි හඬ රැසක් ඇසුණු බවයි, වාර්තා වන්නේ. තලෙයිබාන් සංවිධානයට විරුද්ධව නගර කිහිපයකම විරෝධතා හට ගෙන තිබෙනවා. එරට ජාතික කොඩිය ඉවත් කර ඔවුන්ගේ කොඩිය එසවීමට විරෝධය පළ කරමින් ඊයේ මෙම උද්ඝෝෂණ ආරම්භ වුනා. විරෝධතාකරුවන් අද කාබුල් නගරය පුරා ඇෆ්ගන් ජාතික කොඩිය ඔසවා ගෙන යමින් ඊට විරෝධය දක්වනු ලැබුවා. ඇතැම් ප්‍රදේශවල තලෙබාන් සංවිධානයේ කොඩිය ගලවා දමා ඇෆ්ගන් කොඩිය එසවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව එරට බියක් හටගෙන තිබෙනවා. තලෙබාන් පාලනයක් යටතේ කාන්තාවන්ට ඉතා දුක්ඛිත තත්වයක් පැවති අතර එම තත්වය යළි උද්ගත වනු ඇති බවට එරට කාන්තාවන් බිය පළ කරනවා.

    ඇෆ්ගනිස්තාන කාන්තා ප්‍රවෘත්ති නිවේදිකාවක් සඳහන් කරන්නේ තලෙයිබාන් පාලනය ආරම්භ වූ පසුව ඇයට සේවයට පැමිණිමට ඉඩ ලබා නොදුන් බවයි. කෙසේ වෙතත්, තලෙයිබාන්වරු යටතේ ඇෆ්ගන් කාන්තාවන්ට හිමිවන අනාගතය පිළිබඳව බොහෝ දෙනෙක් තුළ ඇත්තේ අවිනිශ්චිත තත්වයක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 අගෝස්තු 2021 21:01

    Latest News