දෙකට කැඩුණු ගාසා

නොවැ 06, 2023

    ගාසා තීරයට අයත් භූමිය කොටස් දෙකක් වන අයුරින් තම හමුදාව ස්ථානගත කළ බව ඊශ්‍රායලය පවසනවා. ගාසා තීරයේ, ගාසා නගරයට අයත් කලාපය මෙලෙස වෙන් කරන බවයි ඔවුන් කියා සිටින්නේ.

    තම හමුදාව මේ වන විට ගාසා නගරයේ දකුණු දිග වෙරළ තීරය දක්වා පැමිණ සිටින බව ඊශ්‍රායලය පවසනවා.

    මේ වන විට ගාසා තීරය උතුර සහ දකුණ යනුවෙන් කොටස් දෙකකට වෙන්ව තිබෙනවා. එහෙත්, කලාපයේ සටන් විරාමයක් ඇති කළ යුතු බවටයි අමෙරිකාව කියා සිටින්නේ.

    තුර්කියේ සංචාරක නිරතව සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසන්නේ, මානුෂීය සටන් විරාමයක් කලාපය තුළ ඇති කළ යුතු බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ ආයතන 18ක ප්‍රධානීන් ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කළ යුතු බවට ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

    නමුත්, ඊශ්‍රායලය පවසන්නේ, සටන් විරාමයකට එළඹීමට පෙර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවයි.

    ඊශ්‍රායලය මේ වන විට ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර වැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. බීබීසී ලෝක සේවය පවසන්නේ,

    පසුගිය මස 7 වැනිදා ඊශ්‍රායල් පලස්තීන වත්මන් යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව එල්ල කළ වැඩිම ගුවන් ප්‍රහාර සංඛ්‍යාව ඊශ්‍රායලය විසින් ඊයේ රාත්‍රී එල්ල කළ බවයි.

    ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුගිය මස 7 වැනිදා සිට මේ දක්වා සාමාන්‍ය වැසියන් දසදහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ, මේ වන විට ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් මිලියන 1.5 කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවයි.

    යුද්ධය හේතුවෙන් ඔවුන් පවත්වාගෙන ගිය සරණාගත කඳවුරු 48ක් විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මේ අතර, ජෝර්දානය, ගාසා තීරයට වෛද්‍ය ආධාර තොගයක් ගුවන් හෙලා තිබෙනවා.

    අබ්දුල්ලා රජුයේ උපදෙස් පරිදි ජෝර්දානය විසින් ගාසා තීරයේ පවත්වාගෙන යන ක්‍ෂේත්‍ර රෝහලට මෙම වෛද්‍ය ආධාර තොගය හෙලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

    #SLRC

     

    #RupavahiniNews

     

    #Rupavahini

    Last modified on සදුදා, 06 නොවැම්බර් 2023 11:08

    Latest News