නේපාල භූ කම්පනයෙන් 100ක් මරුට

නොවැ 04, 2023

    නේපාලයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් සිය දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    190,000 ක පමණ ජනතාවක් වාසය කරන කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 500 ක් බටහිර දෙසින් පිහිටි කඳුකර දිස්ත්‍රික්කයක් වන "ජජර්කෝට්" ආශ්‍රිතව ඊයේ රාත්‍රි මෙම භූමිකම්පාව ඇති වුණා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය ප්‍රකාශ කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.6ක් වූ අතර, එය කිලෝමීටර් 18ක් පමණ පොළොවට ගැඹුරින් සිදුවී ඇති බවයි. මෙම භූමිකම්පාව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරටත් දැනී තිබෙන බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    ජජර්කෝට් ප්‍රදේශයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් ඇති අතර, අසල්වැසි රුකුම් දිස්ත්‍රික්කයේ මරණ 35 ක් වාර්තා වී තිබෙනවා. භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳව බලවත් ශෝකය පළ කරන බව, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්පා කමල් දහාල් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. වහාම ගලවා ගැනීමේ සහන මෙහෙයුම් දියත් කරන ලෙස ආරක්ෂක අංශවලට නේපාල අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News