ඉරාන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

ජූනි 29, 2024

    ඉරානයේ හිටපු ජනාධිපති “ඊබ්‍රහිම් රයිසිගේ” හදිසි අභාවයෙන් පසු අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම කටයුතු ඊයේ දිනයෙන් අවසන් වුණා.

    මේ වන විට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් ඊට සුදුසුකම් ලබන අතර, ඡන්ද මධ්‍යස්ථාන 58,640 ක ඡන්ද විමසීම් පැවැත් අතර, ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉතා අඩු බැවින් ඉරාන බලධාරීන් අතිරේක කාලයක් ඒ සඳහා ලබා දී තිබුණා. ඡන්ද විමසීම් කටයුතු එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වෙනතෙක් පැවැත්වුණා.

    රටින් එපිට සිටින ඉරාන ජාතිකයින් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 300 ක් පිහිටුවා තිබූ අතර, අද පස්වරුව වන විට සමස්ත ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණයට මිලියන 60 කට අධික ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්‍ෂකයින් වන්නේ, මොහොමඩ් ගලිබාෆ්, සයිඩ් ජලීලි, මසූඩ් පෙසෙෂ්කියන් සහ මුස්ටෆා පූර්මොහොමඩි යන අයයි. ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි ද මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව එක්ලක්‍ෂ අනූදහසක ආරක්‍ෂක සාමාජිකයන් පිරිසක් යොදා තිබූ බව සඳහන්. මැතිවරණ කාල සීමාවේ ආරක්‍ෂාව සඳහා යොදා සමස්ත ආරක්‍ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව දෙලක්‍ෂයකට අධික බවයි, එරට ආරක්‍ෂක අංශ ප්‍රකාශ කරන්නේ.

    සති අන්තයක් බැවින් සහ රට තුළ උණුසුම් කාලගුණය හේතුවෙන් බොහෝ ඉරාන ජාතිකයින් ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බවයි බොහෝ මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ. මිලියන 61කට අධික ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් සියයට 40 ක, එනම් මිලියන 24 ක පමණ ජන්ද දායකයින්, ඡන්දය ප්‍රකශ කර ඇති බවයි නිල නොවන සංඛ්‍යා දත්ත පදනම් කරගත් මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ.

    මේ වනවිට ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉරාන අභ්‍යාන්තර කටයුතු අමාත්‍යාංශය නිල සංඛ්‍යා ලේඛන අනුව ගණන් කර ඇති ඡන්ද පත්‍රිකා විසිතුන් ලක්‍ෂ 72,866 න්, මසූඩ් පෙසෙෂ්කියන් ඡන්ද නව ලක්‍ෂ 73,052 ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින අතර, සයිඩ් ජලීලිනව ලක්‍ෂ 63,615 ලබා ගෙන දෙවැනි ස්ථානයේ පසුවනවා.

    පිළිවලින් මොහොමඩ් ගලිබාෆ් සහ මුස්ටෆා පූර්මොහොමඩි යන අය තෙවැනි සහ සිව් වන ස්ථානවල පසු වන බවයි, වාර්තා වන්නේ. ඡන්ද අපේක්‍ෂකයින්ට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක ඡන්ද ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඉදිරියෙන් සිටින ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා අතර නැවත ඡන්දයක් ලබන සිකුරාදා පැවැත් වීමට නියමිතයි.

    Latest News