ග්‍රීන්ලන්තයේ ටොන් බිලියන 12.5ක අයිස් එක් දිනකදී දියවේ

අගෝ 04, 2019

    ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පමණක් ටොන් බිලියන 12.5ක් දියවී ඇතැයි, නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

    ලොව දෙවැනි විශාලතම අයිස් තට්ටුව ලෙස සැලකෙන එහි 1950න් පසු එක් දිනක් දියවී ගිය විශාලතම ප්‍රමාණය මෙය ලෙස සැලකේ. චන්ද්‍රිකා මගින් සිදු කළ නිරීක්‍ෂණ යොදා ගනිමින් ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම පිළිබඳව නිවැරදි දත්ත ගණනය කිරීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ, ඉකුත් සතියේ යුරෝපයේ රටවල් කිහිපයක වාර්තා වූ අධික උෂ්ණත්වය හා ලැව් ගිනි ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම වේගවත් වීමට හේතුවී ඇති බවයි. සෑම වසරකම ජූලි, අගෝස්තු කාලය තුළ ශීඝ්‍රයෙන් දියවන ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු යළි සකස් වන්නේ, සීත සෘතුව තුළයි. එහෙත්, මෙවර ඛාදනය යථා තත්වයට පත්වීම සැකසහිත බව විද්‍යාඥයින් පවසයි. සාගර ජල මට්ටම මිලිමීටර භාගයකින් ඉහළ යාමට මෙය හේතුවක් වනු ඇත. අයිස් තට්ටු දියවීමෙන් මේ සියවස අවසානයේ සාගර ජල මට්ටම මීටරයකින් පමණ ඉහළ යනු ඇතැයි විද්‍යාඥයින් අනාවැකි පළ කරයි.

    Latest News