අලි සම්පත රැකගැනීමට අවධානය

නොවැ 08, 2018

    වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු පිළිබඳ පසුගිය දින කීපයක සිට අහන්න ලැබුණා.

    එවැනි අනතුරු හේතුවෙන් මේ වසරේ පමණක් මියගිය වන අලින් සංඛ්‍යාව 14ක්. අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර ගැටදිවුල ප්‍රදේශයේදී වන අලියෙකු අද දුම්රියේ ගැටීමෙන් අලියාට බරපතල තුවාල සිදුවුණා. පසුගිය 20 වැනිදා මේ ආසන්නයේ දී ඇතින්නියන් දෙදෙනෙකු දුම්රියගේ ගැටී අනතුරට ලක්වුණා.

    කැකිරාව-පළුගස්වැව, පළුගස්වැව-ගල්ඔය, ගල්ඔය-කැකිරාව, පොළොන්නරුව-වැලිකන්ද, වැලිකන්ද-පූනායි, ගල්ඔය-කන්තලේ, වවුනියාව-සෙට්ටිකුලම යන ප්‍රදේශවල වන අලින් නිතර ගැවසෙන බැවින් එම ප්‍රදේශවල අනතුරු බහුල බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. අනතුරු වළක්වා ගැනීමට කෙටි කාලීන ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව වනජීවි අධ්‍යක්‍ෂ ජෙනරාල් එම්.ජී.සී.සුරියබණ්ඩාර මහතා කියා සිටියා.

    මීට අමතරව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව ඉදිරියේදී කැබිනට් අනුමැතියට යොමුකර දිගුකාලීන ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව, ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඊට වනජීවි දෙපාර්තමේන්තුවේ පූර්ණ සහය ලබාදෙන බවයි, වනජීවි අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා කියා සිටියේ. කෙසේ වුවද, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ද දිනපතා විනාශ වන අලි සම්පත රැක ගැනීමට බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතුයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 නොවැම්බර් 2018 20:38

    Latest News