පාර්ලිමේන්තුව යළි කල්තැබීමට සූදානමක් නැහැ; ජානක වක්කුඹුර

ජන 02, 2020

    හෙට ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය යලි කල්තැබීමට රජය කිසිසේත් සූදානම් නොමැති බව, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

    කුමන බාධක මධ්‍යයේ වුවද පාර්ලිමේන්තු කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කරන බව, ඔහු කියා සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ පිළිබඳ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා....

    “මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව කල්තියන්නේ නැහැ. පාර්ලිමේන්තුව කල් තියන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. 69 ලක්‍ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න අපට වගකීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව 69 ලක්‍ෂයක් ජනතාවගේ නියෝජනයක් නෙමෙයි. විකෘති නියෝජනයක්. ඒ නිසා තමයි අපි කිව්වේ ඒ පාර්ලිමේන්තුව විසිරුවොත්, ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් හදන්න ඕනේ. ජනාධිපතිතුමාට දෙන පළමු අවස්ථාවෙන්ම එතුමා ඉෂ්ඨ කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අපිට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවුරුදු හතරහමාරක් යනතුරු විසුරුවන්න බැරි නිසා තව මාස දෙක, තුනක් මෙහෙම යන්න වෙනවා. මොන හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව කල් තියන්නේ නැහැ. ඒකට අපි මුහුණ දෙනවා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ“ යැයි ජානක වක්කුඹුර මහතා පැවසීය.

    Latest News