Update : 8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණේ

ජන 03, 2020

    Update : 8 වන පාර්ලිමේන්තුවේ 4වන සැසිවාරයේ සමාරම්භය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණේ.

    8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිය අදයි - (8:15)

    අට වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

    වේත්‍රදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ කථානායකවරයා පෙරවරු 09.30ට පැමිණෙන අතර, සෙසු ආරාධිතයන් ද පැමිණිමෙන් පසු පෙරවරු 10.00ට ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති බවයි.

    උත්සව අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, අගවිනිසුරුවරයා, නීතිපතිවරයා, විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු ආරාධිත අමුත්තන් 600කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

    ජනාධිපතිවරයාගේ රාජාසන කථාවෙන් පසු පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබන අතර පස්වරු 01.00ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

    මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    අදාළ පත්කිරීම් හා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද රැස් වී තිබුණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි.

    එහිදී පාර්ලිමේන්තුවේ නව සභා නායකයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත් කිරීමට තීරණය කර තිබේ.

    මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා නම් කිරිමට ඊයේ (02) පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.

    Last modified on සිකුරාදා, 03 ජනවාරි 2020 10:00

    Latest News