“කොරෝනා “ වූහාන්හි විදේශිකයන් ඉවත් කිරීම ඇරඹේ

ජන 29, 2020

    “කොරෝනා වෛරස්“ රෝගය වඩාත්ම දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති චීනයේ වූහාන් නගරයෙන් විදේශිකයන් ඉවත් කිරීම දැන් සිදුවේ.

    රෝග ව්‍යාප්තියේ උපරිම තත්වයට එළඹීම තවත් දින 10ක් තුළ සිදුවිය හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. මරණ සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති අතර, තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 6,056ක් දක්වා වැඩිවී තිබේ.

    වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ පමණක් 30%කින් එනම්, 1,500කින් පමණ ඉහළ ගිය බව, චීන බලධාරීන් පවසයි. මෙතෙක් රෝගය ව්‍යාප්ත වී නොතිබූ චීනයේ ටිබෙට් පළාතෙන් ද අද ප්‍රථම වරට රෝගියෙකු හමුවූ බව, එරට මාධ්‍ය සඳහන් කළේය. මේ අනුව දැන් චීනයේ සියලුම ප්‍රාන්තවලින් “කොරෝනා වෛරස්“ රෝගීන් හමුවී තිබේ. එමෙන්ම සන්සන්දනාත්මකව ගත් විට, දැනට චීනයේ වාර්තා වී ඇති “කොරෝනා වෛරස්“ රෝගීන්ගේ සංඛ්‍යාව 2002-2003 වකවානුවේ ඇති වූ සාර්ස් රෝගයට ගොදුරු වූ චීන පුරවැසියන්ගේ සංඛ්‍යාව වන 5,794 අද ඉක්මවා ගිය බව, සෞඛ්‍ය සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මේ අතර, අද අරාබි කලාපයේ ප්‍රථම “කොරෝනා වෛරස්“ රෝගියා එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් හමුවිය.

    චීනයට අමතරව වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 14 වාර්තා වන්නේ තායිලන්තයෙනි. මේ වනවිට වූහාන් හි රැඳී සිටින තම පුරවැසියන් 600ක් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටී. එම පිරිස ප්‍රථමයෙන් ඔස්ට්‍රේලියාවට කිලෝ මීටර 2,000ක් ඈතින් පිහිටි ක්‍රිස්මස් දූපතේ දෙසතියක රඳවා තබන බව එරට රජය ප්‍රකාශ කරයි. එම දූපත මෙතෙක් යොදා ගෙන තිබුණේ, නීති විරෝධි සංක්‍රමණිකයන් රඳවා තැබීමටයි. දැනට ක්‍රිස්මස් දූපතේ රැඳී සිටින්නේ, 4 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලක් පමණි. නවසීලන්තය ද ඔස්ට්‍රේලියාවේ සහය ඇතිව, වූහාන් හි සිටින තම රටවැසියන් 53 දෙනා ඉවත්කර ගන්නා බව, නිවේදනය කළේය.

    වූහාන් නගරයේ රැඳී සිටි ජපාන ජාතිකයන් 206 දෙනෙකු ගුවන් මගින් අද ටෝකියෝ අගනුවර වෙත රැගෙන එනු ලැබූහ. තවත් ජපාන ජාතිකයන් 450කට අධික සංඛ්‍යාවක් වූහාන් හි රැඳී සිටී. අමෙරිකානු වූහාන් හි සිය රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය අද ප්‍රථමයෙන් ඉවත්කර ගනු ලැබූහ. සෙසු අමෙරිකානුවන් අදියර කිහිපයක් යටතේ ඉවත් කර ගැනීමට නියමිත වේ. ඉවත් කර ගැනෙන ප්‍රථම යුරෝපා වැසියන් කණ්ඩායම ලෙස ප්‍රංශ ජාතිකයන් 250කට අධික සංඛ්‍යාවක් ගුවන් මගින් පැරිස් වෙත ගෙන යනු ලැබූහ. බ්‍රිතාන්‍යයට ද එරට වැසියන් 300කට අධික සංඛ්‍යාවක් ඉවත් කර ගැනීමට සූදානම් වේ.

    මේ අතර චීන බලධාරීන් රෝගය ව්‍යාප්ත වන නගර 17ක මිලියන 50කට අධික ජනතාවට ගමන් බිමන් සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
    චීනය “කොරෝනා වෛරස්“ යක්‍ෂයාට මුහුණ දීමට තරම් ශක්ති සම්පන්න බව, චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් පෙඩ්රෝස් ඇඩ්හානම් සමඟ අද පෙරවරුවේ විශේෂ සාකච්ජාවක් පැවැත්විය.

    වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් වාර්තා වූ වැදගත්ම පුවත වන්නේ, චීනයෙන් ව්‍යාප්තිය ඇරඹු “කොරෝනා වෛරස්“ ප්‍රති නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු වෛද්‍ය විද්‍යාඥයන් සමත්වීමයි. ඒ තුළින් වෛරසයේ ජානමය සැකැස්ම හඳුනා ගැනීමටත්, එය උපයෝගී කරගෙන ප්‍රතිකාර ක්‍රමවේදයක් සකසා ගැනීමේ ඉඩකඩ සළසා ගැනීමටත් ඔවුන් සමත්ව තිබේ. තම සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදීමට ද ඔවුන් අපේක්‍ෂා කරයි.

    රෝග ව්‍යාප්තිය ශීඝ්‍ර වීමත් සමඟ ලොව මුල් පෙළේ ගුවන් සේවා චීනයට සිදු කරන ගුවන් ගමන් නවතා දමා තිබේ. බ්‍රිතාන්‍ය ගුවන් සේවය එසේ සිදු කළ පළමු ආයතනයයි. අමෙරිකාවේ යුනයිටඩ් ගුවන් සේවය, කැතේ පැසිෆික් ගුවන් සේවය සහ ලයන් එයාර් ගුවන් සේවා ද එම ක්‍රියාමාර්ගයට අනුගමනය කර තිබේ.

    මේ අතර, ලොව සෙසු බෝවන රෝග සැළකූ කළ කොරෝනා වෛරස් රෝගයට ඇත්තේ ඉතා අඩු මරණ අනුපාතිකයක් බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. දැනට එම රෝගයේ මරණ අනුපාතිකය 3%ක් ලෙස ගණන් බලා තිබේ.

    ලොව වැඩිම මරණ අනුපාතිකයක් එනම්, සියයට-සියයක ප්‍රතිශතයක් ඇත්තේ බන්ධනාගාර රෝගය යනුවෙන් හැඳින්වෙන මාරාන්තික රෝග තත්වයටයි. වෛරස් රෝග අතුරින් එබෝලා 90%ක මරණ අනුපාතිකයක් ද, ඒඩ්ස් 80%ක මරණ අනුපාතිකයක් ද, ඉන්ෆ්ලුවන්සා 68%ක මරණ අනුපාතිකයක්ද, ඩෙංගු 26%ක මරණ අනුපාතිකයක් ද පෙන්නුම් කරයි.

    දැනට ලෝකයේ බෝවන රෝග සැලකූ කළ වසරකට වැඩිම පිරිසක් එනම්, දහතුන් ලක්‍ෂයක් මියයන්නේ ක්‍ෂය රෝගයෙන්. ඉන් දිනකට මියයන සංඛ්‍යාව හාර දහසක් පමණ වේ.

    Latest News