චීන ජාතික කාන්තාවගේ සෞඛ්‍ය තත්වය සුව අතට; විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ (වීඩියෝ)

ජන 29, 2020
  • “කොරෝනා වෛරසය“ වැළඳීමෙන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ සෞඛ්‍ය තත්වය සුව අතට හැරෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ, රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින බැවින් ජනතාව බියවිය යුතු නැති බවයි. සැක සහිත රෝග ලක්‍ෂණ මතුවුවහොත් වහාම ළඟම ඇති වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි.

    “කොරෝනා වෛරසය“ වැළඳී ඇතැයි සැක කෙරුණු රෝගීන්ගේ වෛරස පරීක්‍ෂණ වාර්තාව පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළේය.

    වූහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ට අවශ්‍ය ආහාර පාන හා අනෙකුත් පහසුකම් තානාපති කාර්යාලය හා ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්වීමෙන් ලබාදී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු කියා සිටියේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිලිබඳ අධීක්‍ෂණය කරන බවයි.

    මේ අතර චීනයේ සිට තවත් සිසුන් 25 දෙනෙකු සහ චීනයේ විවිධ ප්‍රදේශවල වෘත්තින්හි නියැලී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද දිවයිනට පැමිණියේය. ඔවුන් දිවයිනට පැමිණියේ කටුනායක ගුවන් තොටුපළේ නව පැමිණිමේ පර්යන්තයෙනි. එහිදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කෙරිණ. ඔවුන් තුල කිසිදු රෝග ලක්‍ෂණයක් නොමැති බව සනාථ වීමෙන් පසු නිවෙස් බලා පිටත්කර යැවීමට බලධාරීන් ක්‍රියා කළේය.

    මේ අතර “කොරෝනා වෛරසය“ සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිදු කෙරෙන ආරක්‍ෂිත වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මියගේ පරීක්‍ෂාවට ලක්වූවාය.

    චීන ජාතිකයන් සේවය කරන වැඩබිම්වල දැනුවත් කිරීමේ හා පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 20:34

    Latest News