නැඟෙනහිර ගුරු හිඟයට කඩිනම් විසදුම්....අනුරාධා යහම්පත්

ජන 30, 2020

    දීර්ඝ කාලයක් තිස්සේ නැඟෙනහිර පළාතේ පාසල්වල උග්‍ර ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.

    නැගෙනහිර පළාතේ අධ්‍යාපන කළාප 17 තුළම විද්‍යා, ගණිත සහ ඉංග්‍රීසි ඇතුළු ගුරු පුරප්පාඩු 600ක් පවතින අතර ඉන් 298ක් සිංහල මාධ්‍ය සහ 302ක් දෙමළ මාධ්‍ය වෙයි.

    කෙසේ වෙතත් පාසල් වල අතිරික්ත ගුරුවරුන් ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන්න කළාප වලට මාරු කොට ගුරු තුලනය ඇති කිරීමට පියවර ගන්නා මෙන් ආණ්ඩුකාරවරිය දන්වා සිටියාය.

    ඒ සමගම පුරප්පාඩු පවතින ගුරු හිගය පියවා ගැනීම සඳහා ගුරු සහයිකයින් බඳවා ගැනීමද කඩිනම් කරන ලෙස දන්වා සිටියාය. මේ අතර නුපුහුණු ගුරුවරුන් 3000කට ආසන්න පිරිසක් කළාප මට්ටමින් පුහුණු කිරීමට අවශ්‍ය කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් දුන් ආණ්ඩුකාරතුමිය එළඹෙන අප්‍රේල් මාසයේ සති 02ක් තුළ එම පුහුණු වැඩසටහන ආරම්භ කරන ලෙසටද අදාළ කළාප අධ්‍යක්ෂකවරුන් වෙත දන්වා සිටියාය.

    පළාත් අධ්‍යාපන බලධාරීන් සමග ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති හමුවක දී ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

    මේ අවස්ථාවට නැගෙනහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු බලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 08:21

    Latest News