මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා; අගමැති

ජන 30, 2020

    මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මොරටුව, බෞද්ධ මන්දිරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. පූජ්‍ය ගම්පොළ සුගුණධජ නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්වූහ. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ, වර්තමානයේ රට තුළ පවතින තත්වය පිළිබඳව වඩාත් සංවේදීව බැලිය යුතු බවයි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා....

    “අද මත්ද්‍රව්‍යවලින් මේ රට ගිලගන්න පටන් අරන් තියෙනවා. පසුගිය කාලය තුළදී විශාල වශයෙන් නොයෙක් කුඩුවලට, මත්පෙතිවලට ඇබ්බැහි වෙන්න පටන් අරගත්ත බව, අපිට දැන් පැහැදිලියි. අදත් මම හිතන්නේ අපිට වාර්තා වුණා හොරණ ප්‍රදේශයෙන් කිලෝ ග්‍රෑම් 150ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙලා තියෙනවා. සමාජය තුළ අපේ තරුණ පරපුර විනාශ වෙලා යනවා දකින්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මේකට අපි තදබල ලෙස පියවර ගැනීමට කටයුතු කරන්න අපි පොලිසියට දන්වලා තියෙනවා. විශේෂයෙන් මේ තත්වය පිලිබඳව දෙමාපියන් තමන්ගේ දරුවන් පිළිබඳව මීට වඩා විමසිල්ලෙන් සිටිමට කටයුතු කරන්න ඕනේ කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. අද පොඩි කාලෙටත් වඩා දරුවන් වැඩිවියට පත්වේගෙන එනකොට තමයි දරුවා පිළිබඳව සොයා බැලිය යුත්තේ. මේක නැත්නම් සමාජය පිරිහෙලා යනවා විතරක් නෙමෙයි, ජාතියක් වශයෙනුත් අපි පිරිහෙනවා කියන එක අපි මතක තබා ගත යුතුයි“ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

    Latest News