“ගමට ගෙයක්-රටට හෙටක්“ පළමු නිවසේ ඉදිකිරීම් අගමැති අතින් (වීඩියෝ)

පෙබ 01, 2020
  • අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 14,022ක් ඉදිකිරීමේ “ගමට ගෙයක්-රටට හෙටක්“ වැඩසටහන අද (01) උදේ ආරම්භ කෙරිණ.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සමාරම්භක උත්සවය කුරුණෑගල, ගිරිබාව, වරාගමදී පැවැත්විණ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රමරට සෑම පවුලකටම ස්ථිර නිවසක් ලබාදීම සහතික කර තිබේ. එහි පළමු වැඩසටහනය යටතේ, සෑම ග්‍රාමසේවා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මකයි.

    මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි 841ක්. මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නිවාස 14,022කම ඉදිකිරීම් නිවාස සංවර්ධන අධිකාරියේ අපේක්‍ෂාවයි. රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ විශේෂ කමිටුවක් මගින් නිවාසලාභීන් තෝරා ගැනේ. කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන අයුරින් වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. වැඩසටහන යටතේ ඉදිවන පළමු නිවසේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින්. මැති-ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    “ගමට ගෙයක්-රටට හෙටක්“ ජාතික වැඩසටහනට සමගාමීව විවිධ ප්‍රදේශවල ද නිවාස ව්‍යාපෘති අද ආරම්භ කෙරිණ. වවුනියාව දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 102ක්. යුද්ධයෙන් පීඩාවට පත් යළි පදිංචි කෙරෙන ආර්ථික දුෂ්කරතා සහිත සිංහල, දෙමළ, මුස්ලිම් පවුල්, නිවාසලාභීන් ලෙස තෝරාගෙන තිබේ. සමාරම්භක උත්සවය පැවැත්වුණේ වවුනියාව, මුන්ඩිමුරුප්පුව ග්‍රාමයේ දී.


    ඒ අතර රත්නපුර ඇහැළියගොඩ මින්නාන ග්‍රාමයේ ද නිවසක් ඉද කෙරෙන අතර, කැස්බෑව-පිලියන්දල, මිරිස්වත්ත, ඇතුල්ගෙවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණු නිවාස ව්‍යාපෘතිය දින 60 කින් නිම කිරීමට නියමිතයි.


    එමෙන්ම කළුතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන පැවැත්වුණේ ගල්පාන පරදූව ප්‍රදේශයේදී. පොළොන්නරුව, ඇළහැර ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ මඩුදමන ගම්මානයේ ද නිවසක ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.


    තවත් ගම්මානයක් අනුරාධපුර නාච්චාදූව ප්‍රදේශයේදී ද ගමට ගෙයක් වැඩසටහන ආරම්භ විය. 


    මේ අතර ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ දරගල ගම්මානයේ නිවසක ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 01 පෙබරවාරි 2020 22:19

    Latest News