වූහාන් කොටුවී සිටි සිසු පිරිස, විශේෂ බස් රථයකින් දියතලාව යුද හමුදා කඳවුරට

පෙබ 01, 2020

    කොරෝනා වෛරසය පැතිරයාමෙන් වසා දමා ඇති චීනයේ වූහාන් නගරයේ කොටුවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස අද උදේ ගුවන් මගින් මෙරටට රැගෙන එනු ලැබූහ.

    මීට මඳ වේලාවකට පෙර ඔවුන් දියතලාව හමුදා රෝහල් පරිශ්‍රය වෙත ළඟාවූ බව, වාර්තාවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ විශේෂ මැදිහත්වීම මත, මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ අනුව, විදේශ සබඳතා අමාත්‍යාංශය, බෙයිජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් නිරතුරුව, චීන රජය සමඟ ඊට අදාළ කාර්යයන් මෙහෙයවයි.

    සිසුන් පිරිස රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානය ඊයේ සවස චීනය බලා පිටත්ව ගියේය. ඒ විශේෂයෙන් පුහුණු කළ කණ්ඩායමක් සමඟින්. ඒ අනුව අදාළ සිසුන් 33 දෙනා රැගත් යූ.එල්.-1423 අංක දරණ ශ්‍රී ලංකන් ගුවන්යානය අද පෙරවරු 7.45ට පමණ මත්තල ගුවන් තොටුපොලට ළඟා විය. පැමිණි සිසුන් සියලු දෙනා විශේෂ පරීක්‍ෂාවකට ලක් කළ අතර, ඔවුන්ගේ බඩුබාහිර ආදිය ගුවන් හමුදාව විසින් ජීවානුහරණය කර, යුද හමුදාවට බාර දුන් බව, අප වාර්තාකරු පවසයි. ඒ අනුව, ඔවුන් විශේෂ බස් රථයකින් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබූහ. ඔවුන් එහිදී දින 14ක කාලයක් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණ හා පසු විපරමකට යොමු කිරීමට නියමිතවේ. ඒ සඳහා කාමර 32කින් යුත් විශේෂ ගොඩනැගිලි සංකීර්ණයක් දියතලාව යුද හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිකර තිබේ.

    Diyathalawa px 900 01 02 20

    නිරෝධායනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම සෙසු වෛද්‍ය පහසුකම් සඳහා ද එහි තාක්‍ෂණික පහසුකම් පවතින බව, යුද හමුදාව පවසයි. එහි රඳවනු ලබන සිසු-සිසුවියන්ගේ පෞද්ගලිකත්වය මෙන්ම රහස්‍යභාවය රැකීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගයන් සම්පාදනය කර ඇති බව, යුද හමුදාව ප්‍රකාශ කළේය. එමෙන්ම, විශේෂයෙන් පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් සිසුන් වෙනුවෙන් යොදවා තිබේ.

    කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භ වූයේ, චීනයේ වූහාන් නගරයෙන්. ඒ නිසා වැඩිම රෝගීන් පිරිසක් වූහාන් නගරයෙන් වාර්තා වූහ. රෝගය පැතිරයාම ශීඝ්‍ර වූ විට, එහි සිටි විදේශිකයන් ඉවත්කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ආරම්භ කෙරිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ විශේෂ අවධානය ඒ සඳහා යොමු වූ අතර, ශ්‍රී ලංකාව තම රටවැසියන් වූහාන් නගරයෙන් ඉවත්කර ගැනීම සඳහා මුලින්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ඇරඹු රටවල් අතරින් එකක් බවට පත්වූහ.
    එහෙත් මුල් අවස්ථාවේ චීන බලධාරීන් කිසිදු රටකට ඒ සඳහා අවසර ලබාදුන්නේ නැහැ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය දිගටම සිසුන් ඉවත්කර ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය. ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට චීන තානාපති කාර්යාලය එම වැඩපිළිවෙළට එක්ව සිටියහ. පසුව, චීන බලධාරීන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට තම පුරවැසියන් ඉවත් කරගැනීමට අවසර ලබාදුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.1423 යානය විශේෂයෙන් පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් ද සමඟ ඊයේ සවස වූහාන් වෙත පිටත් කරනු ලැබුවේ, එම දීර්ඝ රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන්.

    Uha px 900 01 02 20

    ඊට පෙරාතුව, රජය, ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ, චීනයේ වෙනත් ප්‍ර දේශවල සිටි ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණිම සඳහා පහසුකම් සැලසීමටයි. ඒ, අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය 50%ක සහන ගාස්තුවක් යටතේ චීනයේ සිටි ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණිමට ගුවන් ගමන් පහසුකම් සැලසුවේය. ඒ යටතේ, චීනයේ සිටි 600කට අධික පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ අවසන්. තවමත් එරට රැඳී සිටින්නේ 200ක පමණ පිරිසක් බව වාර්තාවේ.

    කොරෝනා වෛරසය පාලනයට හා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සඳහා රජය කඩිනමින් විශේෂ මෙවලම් සපයා තිබේ.
    ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 60කට අධිකයි.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ IDH රෝහල ඇතුළු රෝහල් 12කට මේ උපකරණ ලබාදී ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.

    ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව පත්කරනු ලැබූ ජාතික ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, රෝග පාලනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගනු ලැබූ බව, නිවේදනයේ සඳහන් වේ.

    Latest News