අයිවන් සිල්වාට එරෙහි මුදල් නඩුව ලබන 7 යළිත්

දෙසැ 10, 2018

    හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 07 වනදා නැවත කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේවන විට විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

    මෙම විමර්ශන සඳහා සහාය නොදී සැකකරු මගහැර සිටින බවටත් මේ වන විට නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පදිංචිව සිටින බවට තොරතුරු අනාවරණය කර ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

    ගිං - නිල්වලා යෝජනා ක්‍රමය යටතේ අදාල ගංගා දෙකේ ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව ගලා යෑම වර්ෂාපතනයෙන් වැටෙන ජලය හේතුවෙන් ගංඟා පිටාර ගැලීම් නවත්වා හම්බන්තොට ඇතුලු ප්‍රදේශ වලට ජලය ලබා දීම සඳහා මේ යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ඇත.

    දුෂණ විරෝධී හඩ සංවිධානය සිදු කළ පැමිණිළ්ලකට අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කර ඇත.

    ගිං නිල්වලා යෝජනා ක්‍රමය සඳහා අනූමත මුදලින් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී ඉන් 5%ක මුදලක් අත්තිකාරම් ලෙස ලබා ගෙන රජයේ මුදල් රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණය කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

    Latest News