“කොරෝනා“ මියගිය සංඛ්‍යාව 492 දක්වා ඉහළට

පෙබ 05, 2020

    කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස මේ වනවිට 492 දක්වා ඉහළ ගොස් තිබේ.

    පැය 24ක්තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව 65ක්. චීනයේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 24,384ක් බවට පත්ව තිබේ. ඊයේ දින පමණක් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව හාර දහසකට ආසන්නයි. චීනය නිරෝධායන ක්‍රියාවලිය සඳහා නියමුවන් රහිත ගුවන් යානා යොදාගෙන තිබෙනවා. වෛරසය ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවක වයාප්ත වී ගිහින්. කොරෝනා වෛරසය තවමත් වසංගත තත්වයක් බවට පත්ව නොමැති අතර, රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අසත්‍ය තොරතුරු පැතිරීම පාලනය කිරීම අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ අතර ජපානයට ළඟා වූ මගී නෞකාවක සිටි පිරිසකගෙන් දස දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද අනාවරණය වී තිබේ. නෞකාවේ සිටි 3700ක පමණ පිරිසකගෙන් මෙතෙක් පරීක්‍ෂාවට ලක්කර ඇත්තේ තුන්සිය දෙනෙකු පමණි.

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 16 දෙනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදු කෙරේ. වෛරසය වැළඳී සුවය ලැබූ චීන කාන්තාව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් රඳුවනු ලැබ සිටී.

    වූහාන්වල සිට පැමිණ දියතලාවේ රඳවා ඇති සියලු දෙනා නිරෝගී සුවයෙන් පසුවේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජනරාල් දයා රත්නායක මහතා පවසන්නේ, කොරෝනා වෛරසය සමඟ ඇති අභියෝග ජය ගැනීම සඳහා මෙරට වරාය ආශ්‍රිතව ද ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගතව සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි. ඊයේ පැමිණි “සන් ප්‍රින්සස්“ නෞකාව, කොළඹ වරායට අද සේන්දු වූ සංචාරක මගීන් 2470 දෙනෙකු හා 1425ක කාර්ය මණ්ඩලයකින් යුත් “කුවින්මැරී ටු“ නෞකාව සහ තවත් නෞකාවකින් පැමිණි මගීන් නිරෝධායනයට ලක්වූහ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා...

    “ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව මුල සිටම ඒවා සැපයෙව්වා. අද දවසේ ලොකුයේ තියෙන විශාලතම නෞකාවකුත් ඇවිල්ලා තියෙනවා. දෙන පණිවිඩය තමයි අපිට කොරෝනා වෛරසයත් එක්ක පැමිණිලා තියෙන අභියෝග සියල්ලටම මුහුණ දීම සඳහා අපි ඉතාම සූදානමින් සිටිනවා“ යැයි දයා රත්නායක මහතා පැවසීය.

    Latest News