ක්ෂුද්‍ර මූල්‍ය; අඩු පොලී ණය මුදලේ සීමාව ඉහළට

මාර් 02, 2020

    ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ග්‍රාමීය ජනතාව මුදා ගැනීමට ලබාදෙන අඩු පොලී ණය මුදලේ සීමාව රුපියල් හතළිස් දහසේ සිට රුපියල් හැට දහස දක්වා ඉහළ නංවා තිබෙනවා.

    එහි පොලී අනුපාතය 14% සිට 9% දක්වා පහත දැමූ බවයි මුදල් අමාත්‍යාංශය අද නිවේදනය කළේ. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබෙනවා. උතුරු හා උතුරු මැද පළාත්වල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් මුදා ගැනීමට සමූපකාර ග්‍රාමීය බැංකු හා සකසුරුවම් සහ ණය දෙන සමිති මගින් අඩු පොලියට ණය ලබාදීම දැනටමත් සිදු කෙරෙනවා.

    දැනට ලබාදෙන ණය මුදල් සීමාව ඉහළ නංවන ලෙස විවිධ පාර්ශවවලින් ලැබුණු ඉල්ලීම මත ණය මුදල් සීමාව ඉහළ දැමීමට තීරණය කළ බවයි, මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ණය ලබාදීම සහ ණය යළි අයකර ගැනීම විධිමත් කිරීමේ පියවරක් ලෙස ත්‍රෛමාසිකව එම වැඩසටහනේ ප්‍රගතිය මහා භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීමට දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක් ද පිහිටුවා තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද හිමිවුණා.

    Latest News