එස්.එම්.චන්ද්‍රසේන ඇතුළු 24කට නොතීසි යවන්නැයි අභියාචනාධිකරණය නියෝග කරයි

මාර් 02, 2020

    ලබන 27 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා වනජීවි හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ඇතුළු 24 දෙනෙකුට නොතීසි යැවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

    ඒ, අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදහසකට ගිනිඅවි නිකුත් කිරීමට ගෙන ඇති කැබිනට් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

    ශ්‍රී ලංකා වනජීවි හා පරිසර ආරක්ෂණ සංගමය විසින් ගොනු කර තිබු රිට් ආඥා පෙත්සමක් සලකා බැලු ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

    කැබිනට් මණ්ඩලය විසින් සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදහසකට ගිනිඅවි නිකුත් කිරීමට ගෙන ඇති තීරණය අලි ඇතුන් පමණක් නොව වනාත්තරවල ජීවත් වන සෙසු සත්ත්වයන්ගේ ජීවිතවලට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි සිය පෙත්සම මගින් පෙන්වා දී තිබු පරිසර සංගමය එම කැබිනට් තීරණය අහෝසි කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මේ වනවිටත් එම නිලධාරීන්ට ගිනිඅවි නිකුත් කර ඇති නම් ඒවා වහාම ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබු එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 24 දෙනෙකු නම් කොට තිබේ.

    Latest News