COVID-19 මඩින්න විදෙස් රටවලින් ආධාර

අප්‍රේ 11, 2020

    COVID-19 රෝගීන් හඳුනා ගැනීමට යොදා ගන්නා PCR පරීක්‍ෂණ කට්ටල විසි දහසකට අධික සංඛ්‍යාවක් චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.

    එහි වටිනාකම අමෙරිකානු ඩොලර් එක් ලක්‍ෂ තිස් දහසක් පමණවේ. පරීක්‍ෂණ කට්ටල තොගය විශේෂ ගුවන් යානයකින් චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රී රැගෙන එනු ලැබීය. ඒවා පරිත්‍යාග කරනු ලැබුවේ ගෝලීය වශයෙන් ප්‍රකට වෙළෙඳ ජාලයක් වන අලිබබා පදනම සහ එහි ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ජැක් මා ගේ නමින් යුත් පදනම විසින්. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළට ආධාර පිණිස මේ වෛද්‍ය උපකරණ පරිතයාග කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ඒවා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇති ප්‍රමිතීන්ට අනුකූල බව ද නිවේදනයේ සඳහන්. තවත් PCR පරීක්‍ෂණ කට්ටල විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පිරිනැමෙන බව ද චීන තානාපති කාර්යාලය අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

    මේ අතර, චීනයේ අයිඩී අක්‍ෂි රෝහල සහ විදේශ රටවල මිත්‍රත්වය සඳහා වන සී චූ ආන් ජනතා සංගමය විසින් පරිත්‍යාග කරනු ලැබූ, මුඛ ආවරණ පන් දහසක තොගයක් ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථානයට ඊයේ පරිත්‍යාග කෙරිණ. පරිත්‍යාග සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයයි.

    ඉන්දීය රජය පරිත්‍යාග කළ ටොන් 10ක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ද පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. රජය ඉල්ලුම් කර තිබූ මේ ඖෂධ රැගෙන එනු ලැබූවේ විශේෂ ගුවන් යානා දෙකකින්. ඉන්දීය රජය ඖෂධ අපනයනය තහනම් කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව වෙත මෙම පරිත්‍යාගය සිදු කළේය. එය, අභියෝග හා සීමා හමුවේ වුව ද සම්පත් තම මිතුරන් සමඟ බෙදාගත යුතුය යන සංකල්පය මත පදනම්ව ගත් ක්‍රියාමාර්ගයක් බව ඉන්දීය රජය ප්‍රකාශ කළේය.

    යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22ක ආධාර මුදලක් ඉකුත් සතියේ ලබා දුන්නේය. COVID 19 රෝගය නිසා මතුව ඇති අර්බුදකාරී තත්වය සමනය කිරීම සඳහා මෙරට සෞඛ්‍ය, කෘෂිකාර්මික හා සංචාරක ක්‍ෂේත්‍ර සඳහා මෙම ආධාරය පිරිනැමිණ.

    මේ අවස්ථාවේ ඉතා වැදගත් ජාතික මෙහෙවරක් ඉටු කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවල ආරක්‍ෂාව තහවුරු කෙරෙන උපකරණ මිලදී ගැනීම සඳහා අමෙරිකාව ඩොලර් මිලියන 1.3ක හදිසි ආධාරයක් පසුගිය සතියේ පිරිනැමීය. එය, දුෂ්කර අවස්ථාවක වුවද අමෙරිකාව, ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන මිත්‍රත්වය පිළිබිඹු කරන්නක් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

    ජාතික රූපවාහිනිය සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ජාවකදී විදේශ ලේකම් රවීනාථ ආරියසිංහ මහතා කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ජගත් ප්‍රජාව අතර ඇති සහයෝගිතාව ගැන කරුණු පැහැදිලි කළේය.

    Latest News