මුව ආවරණ අධි අවදානම් කලාපවලදී පැළඳ සිටිය යුතුයි; සෞඛ්‍ය අංශ

අප්‍රේ 17, 2020

    මුව ආවරණ අධි අවදානම් කලාපවලදී පැළඳ සිටිය යුතුම බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

    ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළුවන වාහනවල රියදුරන් ඇතුළු මගීන් මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වේ.

    කොළඹ නගරයේ පිහිටි මාර්ග බාධකවලදී මුව ආවරණ නොපැළඳ වාහනවල ගමන් ගන්නා පුද්ගලයන් පරීක්‍ෂා කිරීම සිදු කෙරිණ. මුව ආවරණ පැළඳීමේ වාසි සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කෙරිණ.

    සූදූ ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 21ක් නිරෝධායනය කරන ලෙස අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සීතාවක නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ සහ අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ඔවුන් දින 21ක් නිරෝධායනයට ලක් කෙරිණ.

    මේ අතර, ඇඳිරිනීතිය කඩකරමින් ධාවනය කළ යතුරු පැදි 15ක් පොළොන්නරුව පොලිසිය විසින් ඊයේ සහ අද අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්, නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව පොලිසිය පවසයි. ඇඳිරි නීති බලපත් යොදා ගනිමින්, විවිධ නීති විරෝධි කටයුතුවල නිරත පුද්ගලයින් සොයා විශේෂ සෝදිසි මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ මුවාවෙන් සිමෙන්ති කොට්ට 400ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    නීති විරෝධි අයුරින් මත්පැන් අලෙවි කළ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ, පොලිස් විශේෂ කාර්යා බලකාය විසින්. ඒ, කටාන මාර්ග බාධකයකදී. වෑන් රථයක් උපයෝගි කර ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ අතුරු මාර්ගවල මේවා බෙදා හරින බවට ලද පැමිණිල්ලක් මතයි, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම වැටලීම සිදු කළේ.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දිනයේ සිට මේ දක්වා පුද්ගලයින් තිස් දහසකට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

    කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත්තේ, කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යන දිස්ත්‍රික්කයි. එම දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක 19ක් සඳහා ඊයේ පැනවූ ඇඳිරිනීතිය ලබන 20 වැනිදා උදෑසන 6.00 දක්වා බලාත්මකයි.

    Latest News