යල කන්නයේ වී වගාවට නොමිලයේ පොහොර

අප්‍රේ 24, 2020

    කළුතර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව සඳහා නොමිලයේ පොහොර ලබාදීම ඊයේ ආරම්භ කෙරිණ.

    මෙවර එම දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් අස්වැද්දීම සිදු කර ඇතැයි ගොවිජන මධ්‍යස්ථානය සඳහන් කළේය. දිස්ත්‍රික් සහකාර කොමසාරිස් අරුණි අබේගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ, කුඹුරු අක්කර විසිපන් දහසක් වගා කළ බවයි. ඒ වෙනුවෙන් මෙට්‍රික් ටොන් 1720ක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළාය. දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 20 කදී පොහොර බෙදාහැරීම සිදු කෙරිණ. අගලවත්ත, වළල්ලාවිට, බුලත්සිංහල, මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල යල කන්නය සඳහා වැඩි වශයෙන් කුඹුරු වගා කෙරේ.

    තොග සඟවමින් වැඩි මිලට පොහොර අලෙවි කිරීමේ ජාවාරමක් මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අද වටලනු ලැබීය. නාවුල ප්‍රදේශයේ වෙළෙඳ සැලක තිබූ එම පොහොර තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඉදිරියේම පැමිණ සිට ගොවි ජනතාවට අලෙවි කෙරිණ. රුපියල් දහසක් වටිනා පොහොර මිටියක් රුපියල් 1,250කට මෙම වෙළෙඳසැල් හිමියා විසින් අලෙවි කරනු ලැබීය. පසුව පාරිභෝගික නිලධාරීන් විසින් එම පොහොර තොගය රුපියල් දහසේ මිලට එම ස්ථානයේ දීම ගොවීන්ට ලබාදී තිබේ.

    -

    Latest News