ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදයි (වීඩියෝ)

මැයි 17, 2020
  • ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබේ.

    මෙවර එය සැමරෙන්නේ “කනෙක්ට් 2030“ ධරණීය සංවර්ධන ඉලක්ක සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය යන තේමාව යටතේ. ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මැතිතුමා මේ වෙනුවෙන් සුභපැතුම් පිරිනමා තිබේ. සංවර්ධනය යන මැයෙන් අර්ථවත් කරනු ලබන්නේ, සමෘද්ධිය, ආර්ථික ඉඩ ප්‍රස්ථා, පරිසර සංරක්‍ෂණය සහ පුළුල් සමාජ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ධරණීය සංවර්ධනයක් හරහා ගමන් කිරීමයි.

    අනාගත පරපුරේ අවශ්‍යතා සපුරාලීම සඳහා වන අයිතීන්ට හානිදායක නොවන අයුරින් වර්තමාන පරම්පරාවේ අවශ්‍යතා සපුරාලීමට හැකිවන සංවර්ධනයක් එමගින් සහතික කරන බව ජනාධිපතිතුමා පවසයි. මෙම සංදර්භයෙහි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශය තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ ප්‍රයත්නයේ විශිෂ්ට හවුල්කරුවෙකු බවට පත්ව සිටී. ධරණීය සංවර්ධන ඉලක්ක හා එහි උපායමාර්ගික අරමුණු පස් වැදෑරුම් වේ. වර්ධනය, සහබාගිත්වය, ධරණීය බව, නවෝත්පාදනය හා හවුල්කාරීත්වය ඒ අතරට ගැනේ.

    එම අරමුණු සාක්ෂාත් කරගැනීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය මනා දායකත්වයක්සපයා ඇති බව ජනාධිපතිතුමා නිකුත් කළ සුභපැතුම් පණිවුඩයේ සඳහන් වේ. අන්තර්ජාතික විදුලි සංදේශ සංගමයේ 155 වැනි සංවත්සරයට උණුසුම් සුභපැතුම් එක්කරන බව ද “2020 ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය“ අර්ථවත් වේවායි ද ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රාර්ථනා කරයි.

    Last modified on ඉරිදා, 17 මැයි 2020 20:31

    Latest News