කොවිඩ් 19 - අද දිනට රෝගය වැළඳුණු 2ක් පමණයි

මැයි 17, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුනු කිසිදු පුද්ගලයෙක් අද මේ වනතෙක් මෙරටින් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ අතර, අද දිනයේ ද රෝගය වැළඳුණු 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය. ඒ අනුව තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 415 දෙනෙකු පමණි.

    කොවිඩ් 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 538 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද වනවිට සුවය ලැබූ පිරිස 56%ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රතිශතය 43ක්. මරණ ප්‍රතිශතය වාර්තා වන්නේ 0.93%ක්.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු බවට ඊයේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 25ක්. ඔවුන්ගෙන් 23 දෙනෙකුම ආරක්‍ෂක අංශ සාමාජිකයන්. හඳුනාගත් අයගෙන් එක් පුද්ගලයෙකු මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි අයෙක්. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු වේ.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දළදා සමිඳුන් වැඳපුදා ගත්තාය. අනතුරුව, මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමිවරුන් බැහැදැක කොවිඩ් වංසගතය මැඩපැවැත්වීම සඳහා රජය ක්‍රියාකරන ආකාරය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළාය. අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළාය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය....

    “රජය සියලු තොරතුරු ඒ විධියට ලබාදීලා තියෙනවා. රජයට මේවා හංගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. වෛද්‍ය අංශ තමයි එම රෝගියා කොයි රෝගයෙන් ද මැරුණේ කියලා දෙන්නේ. අපි ජනතාවට කියන්නේ ඔබට මේ රෝගයේ මූලික ලක්‍ෂණ තියෙනවා නම් හැම දිස්ත්‍රික්කයකම තියෙන රෝහලට හෝ ළඟම තියෙන රෝහලට ගිහිල්ලා මේ තත්ත්වය ප්‍රකාශ කරන්න කියලා“ යැයි අමාත්‍යවරිය පැවසුවාය.

    කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල සිටින පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පල පරීක්‍ෂණ සඳහා යොමු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    වවුනියාව පොම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි 31 දෙනෙකු අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. ඔවුන් නාවලපිටිය සහ සෙවණගල ප්‍රදේශයේ පදිංචිකරුවන්. නිරෝධායනය අවසන් සහතිකය ද ඔවුන්ට පිරිනැමිණ.

    බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පිරිසක් ද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. එම පිරිසට 7 දෙනෙකු ඇතුලත්. ඔවුන් ඊයේ සහ අද නිවෙස් වෙත පිටව ගියේය. තවදුරටත් එම නිරෝධායන මධ්‍යස්ථානයේ හැත්තෑ දෙදෙනෙකු නිරෝධායනයේ යෙදී සිටී.

    Latest News