සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළට

ජූනි 07, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 33දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

    අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 891 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1814ක් වන අතර, තවත් රෝගීන් 912 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි.

    තවත් නාවික හමුදා සාමාජිකයින් 35 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි.

    ඒ අනුව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ ගණන 488 ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

    මේ වනවිට නාවික හමුදා සාමාජිකයින් 368 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 856 කි.

    මේ අතර, ජර්මනියේ රැදී සිටි තවත් ශ්‍රි ලාංකිකයින් 236 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයක් මගින් අද මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

    විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් පිරිසක් මෙලෙස පැමිණ තිබෙන අතර එම සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පෙර පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කිරීම සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබා ගැනීම ද ගුවන්තොටුපොළේදීම සිදු කර ඇත.

    එමෙන්ම මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර තිබේ.

    ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සහ ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

    කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකිකයින් 300 කට අධික පිරිසක් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ද තානාපතිවරිය මෙහිදී පවසා තිබේ.

    මොවුන් සංක්‍රමණික කම්කරුවන් ලෙස එරට රැදී සිටින අතර, ඔවුන්ට සේවා නොලැබීම වැටුප් ගැටලු සහ සෞඛ්‍ය ගැටලු පවතින බවට මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඊට ලබා දිය හැකි විසදුම් සම්බන්ධයෙන් ද ලෙබනන් කම්කරු අමාත්‍යවරිය ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුවත් කර තිබේ.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 12:38

    Latest News