මද්දුම බණ්ඩාර, ස්වාමිනාදන්, අජිත් පී සහ රංජන් ජනපති කොමිසම වෙත (වීඩියෝ)

ජූලි 15, 2020
  • හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, ඩී.එම්. ස්වාමිනාදන්, අජිත් පී පෙරේරා සහ රංජන් රාමනායක යන මහත්වරුන් පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියේය.

    ඒ කොමිසම නිකුත් කර තිබූ නොතීසියකට අනුවයි. අසත්‍ය සාක්‍ෂි මත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා කොමිසම හමුවේ කර තිබූ පැමිණිල්ලක සාක්‍ෂි විමසීමේදී අනාවරණය වූ කරුණු මත මෙම නොතීසි නිකුත් කර තිබේ.

    කොමිසම අද රැස්වුණේ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. සෙසු සාමාජිකයන් වන්නේ, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුයි. වගඋත්තරකරුවන්ගේ ඉල්ලීමට අනුව පැමිණිල්ලට අදාල සාක්‍ෂි පිටපත් සහ ලිපිලේඛන ගාස්තුවකට යටත්ව ලබාදීමට කොමිසමේ සභාපතිවරයා අනුමැතිය ලබාදුන්නේය. එමෙන්ම නොතීසි නිකුත් කෙරුණු සියලු දෙනාට ලබන මස 10 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස, සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නියෝග කළේය.

    මේ අතර නොතීසි නිකුත් කර තිබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන රවී සෙනෙවිරත්න සහ රවී වෛද්‍යාලංකාර යන මහත්වරුන් ද අද කොමිසම හමුවේ පෙනී සිටියේය.

    මේ අතර, සඳහිරු මහා සෑයේ තැන්පත් කෙරුණු රන් පිළිමයක් සඳහා රේගුවේ රත්රන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනෙකුට ලබන 29 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම අද නියෝග කළේය.

    Last modified on බදාදා, 15 ජූලි 2020 20:23

    Latest News