නිපුණතා සංවර්ධනය දශකයක් (වීඩියෝ)

ජූලි 15, 2020
  • 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    “රට හදන සෞභාග්‍යයේ දැක්ම“ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්‍ෂිතයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය“ අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කොට තිබේ.

    ගෝලීය ප්‍රවනතාවනට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යාය පත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසේ.

    නිපුණතා සංවර්ධන දශකයෙන් අපේක්‍ෂා කෙරෙන්නේ, දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් 10%ක් දක්වා අඩුකිරීම, රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්‍ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරපුරක් බිහි කිරීමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයෙහි කේන්ද්‍රය බවට පත් කිරීම පිණිස සාමාන්‍ය අධ්‍යාපනය, තෘතීයික අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හැඩ ගැස්වීමයි.

    අධ්‍යාපන අංශයේ ඇති කරන පරිවර්තනය මගින් විදේශ ආයෝජන සහ විදේශීය ශිෂ්‍යයන් ආකර්ශනය කර ගැනීමෙන් හා විදේශ රැකියාවන්හි නිරත පුහුණු ශ්‍රමිකයන් උපයන විදේශ විනිමය වර්ධනය කිරීමෙන් වැඩිපුර ආදායම් ජනනය තවත් අපේක්‍ෂාවක්. “රට හදන සෞභාග්‍යයේ දැක්ම“ ජාතික ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය අරභයා රටවැසියා සතු දැනුම, නිපුණතා සහ හැකියාවන් ඉතා වැදගත් සාධක සේ සලකනු ලබයි.

    මේ සම්බන්ධව හඳුන්වාදී ඇති ප්‍රවේශයන් ශිෂ්‍යයන්, අධ්‍යාපනඥයන්, දෙමාපියන් සහ වෘත්තිකයන් වැනි කණ්ඩායම්වල සේම ජාතික මට්ටමේ ආයතනවල සැබෑ අවශ්‍යතා සපුරාලීමට සමත්දැයි දැනගනු පිණිස පරිවර්තනීය වැඩ සැලැස්ම පිළිබඳව ඉදිරි සති කිහිපය තුළ මහජන සංවාදයක් ඇති කරන බව, ජනාධිපතිතුමා පවසයි. නිපුණතා සංවර්ධන දශකයට අදාළ පරිවර්තනීය න්‍යාය පත්‍රය අවසන් වරට සකස් කිරීමේදී මහජන අදහස් ද සැලකිල්ලට ගැනෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

    Last modified on බදාදා, 15 ජූලි 2020 20:20

    Latest News