ආර්ථික සංවර්ධනයට තුනෙන් දෙකේ ජනවරම යොදා ගත යුතුයි; බැසිල් රාජපක්‍ෂ (වීඩියෝ)

අගෝ 15, 2020
  • මහ මැතිවරණයේදී ජනතාව ලබාදුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජනවරම මෙරට ආර්ථික සංවර්ධන සඳහා යොදාගත යුතුව ඇතැයි, ආර්ථික පුනර්ජීවන හා ධරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් සමඟ අද පැවති සාකච්ජාවේදී.

    සාකච්ජාව පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේදී. ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබාදුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්‍ෂාවෙන් සිටින බව බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. එම වෙනස උදා කිරීමට සැලසුම් සේවයට අතිවිශාල කාර්ය භාරයක් පැවරී ඇතැයි, ඔහු පෙන්වා දුන්නේය.

    “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙළට තම සංගමයේ දායකත්වය ලබාදීමට කැමැත්තෙන් පසුවන බව, පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඒ සඳහා ආයතනික ව්‍යුහය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කළේය.

    සමස්ත රාජ්‍ය සේවය පිළිබඳව අවධානය යොමුකර එම ව්‍යුහාත්මක පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරන බව බැසිල් රාජපක්‍ෂ මහතා ක්‍රම සම්පාදන සම්මේලනයට දන්වා සිටියේය.

    රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ශ්‍රම බලකාය කළමනාකරණය කළ යුතුය. මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේදී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසුවේය. සංවර්ධනය යන්න යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට විහිඳුණු ජනතා සහභාගිත්වය සහිත පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් දක්වා ගමන් කළ යුතුව ඇති බව ද බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. ඊට අවශ්‍ය දත්ත විෂ්ලේශනය කොට එම දත්ත එක් රැස් කර වර්තමාන සහ අනාගත අවශ්‍යතා සඳහා ඒවා සංරක්‍ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:08

    Latest News