මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම ගැන වාර්තාවක් ඉල්ලයි

අගෝ 16, 2020

    යහපාලන රජය සමයේ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය පිලිබඳව ගණනය කර නිවැරදි වාර්තාවක් වහාම ලබාදෙන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපල බලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

    අමාත්‍යවරයා අවධාරණය කළේ සතියක් ඇතුලත ඒම වාර්තාව තමන් වෙත ලබාදිය යුතු බවයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ පැවති සාකච්ජාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ. සාකච්ජාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ, වී ගබඩා කිරීම හේතුවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම මෙතෙක් නිවැරදි තක්සේරුවක් සිදුකර නොමැති බවයි.

    ඒ් පිලිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒම සමාගමේ මූල්‍ය ප්‍රධානියාගෙන් විමසූ විට ඔහු ඒය පිළිගෙන තිබේ. අමාත්‍යවරයා අවධාරණය කලේ, මේ පිළිබඳ නිවැරදි තක්සේරුවක් අත්‍යවශ්‍ය බවයි. පසුගිය යහපාලන රජය සමයේදී කෝටි 200කට අදාල වටිනාකමකින් යුත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල භාණ්ඩ ගබඩා කිරීමේ ගොඩනැගිල්ල වී ගබඩා කිරීමට යොදා ගැණින. ඒම ගොඩනැගිල්ලේ ස්කෑනර් යන්ත්‍ර, අධි තාක‍ෂණික උපකරණ, අධි ශිතකරණ ආදිය ගලවා ඉවත්කර වී ගබඩා කිරීම සඳහා යොදාගෙන ඇති බව වාර්තාවේ.

    වී ගබඩා කිරීමෙන් ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියට, විදුලි පද්ධතියට සහ ගුවන් යානා ගොඩබැස්සවීමේදී ගුවන් පථය පෙන්වා දෙන විදුලි ආලෝක පද්ධතියට හානි සිදුවී ඇති බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සාකච්ජාවේදී වැඩිදුරත් සඳහන් කළේ, මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල වී ගබඩා කිරිම හේතුවෙන් යහපාලන රජය සිදු කළ හානිය පිළිබඳව රට දැනුවත් කළ යුතු බවයි. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල ස්වභාවික මරණයකට ලක්කිරීමට ඇති අවශ්‍යතාවය මත පසුගිය ආණ්ඩුව ගුවන් තොටුපල නොසලකා හැරිය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් පසු මෙම ගුවන් තොටුපල සක්‍රීය ගුවන් තොටුපලක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    Latest News