20 වැනි සංශෝධනයෙන් ජාතික ආරක්‍ෂාව ශක්තිමත් වනවා; නීතිවේදීන්

සැප් 04, 2020

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ජාතික ආරක්‍ෂාව ශක්තිමත් වන බව, නීතිවේදීන් පෙන්වා දෙයි.

    ජාතික ආරක්‍ෂාවේ දුර්වලතා, පාස්කු ප්‍රහාරය දක්වා වර්ධනය වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා බව ඔවුන් පෙන්වා දෙයි. 20 වැනි සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය, ඊයේ නිකුත් කෙරිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු සභාවක් ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරේ.

    පාර්ලිමේන්තු සභාවට අගමැතිවරයා, කතානායකවරයා, විපක්‍ෂ නායකවරයා සහ අගමැතිවරයාගේ හා විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයෙකු බැගින් ඇතුළත්. වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වනසේ පැවති වගන්තිය ඉවත්කර වසරක කාලයකින් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකිවන සේ වගන්තියක්, නව ව්‍යවස්ථාවට එක්කර තිබේ.

    ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි වුවද සිය කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බව, 20 වැනි සංශෝධනයේ ඇතුලත්. ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී 19 වැනි සංශෝධනය නිසා ඇති වූ ගැටලු 20 වැනි සංශෝධනයෙන් ඉවත් කර ඇතැයි නීතිවේදීන් පෙන්වා දෙයි.

    Latest News