ලෝක සාම දිනය නිමිත්තෙන් අගමැතිතුමාගේ පණිවුඩය

සැප් 21, 2020

    සියලු ජාතීන් සහ ජනයා අතර “සාමය නැමැති පරමාදර්ශය“ශක්තිමත් කිරීමට වෙන් කළ දිනය වන ලෝක සාම දිනය අදට යෙදී තිබේ.

    දශක තුනකට අධික කාලයක් තිස්සේ පැවතුණු බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ රටක අග්‍රාමාත්‍යවරයා වශයෙන් ලෝක සාම දිනයට පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ මහත් ආඩම්බරයකින් හා අභිමානයකිනි.

    1981 වසරේ දී එක්සත් රාජධානියේ සහ කොස්ටරීකා රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාවක් අනුව,ජාතීන් අතර සහ ජන ප්‍රජාවන් අතර සාමය ප්‍රචලිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත ජාත්‍යන්තර සාම දිනය, 1982 වසරේ සිට සෑම වසරකම සැප්තැම්බර් 21 වන දා සමරනු ලබයි.

    ජාතීන් අතර මිත්‍රත්වය, සහයෝගීතාව දිගුකාලීන සම්බන්ධතාව පදනම් කර ගෙන මානව හිතවාදීව අන්තර්ජාතික වශයෙන්, ආර්ථික, සමාජීය, සංස්කෘතිය ප්‍රවර්ධනය අරමුණෙන් සමරනු ලබන සාම දිනය, සාමය හා සාමය පිළිබඳ සංස්කෘතියක් ගොඩනැගීමේ අඩිතාලමයි.

    මුළු ලොවම කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනක නියැළී සිටින මොහොතක අන් කවරදාටත් වඩා අප එකිනෙකාට සතුරන් නොවන බව පසක් කර තිබේ.

    අනාගතයේ සාමකාමී ලෝකයක් සහතික කරලීම සඳහා සාමය සඳහා වූ ලැදියාව සෑම මිනිසෙක් තුළ තිබිය යුතු වැදගත් අපේක්ෂාවකි. සාමය වෙනුවෙන් වැඩ කිරීම ද සෑම පුද්ගලයෙකුගේ ම වගකීමකි. දශක තුනකට අධික කාලයක් පුරා ජාතීවාදී ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලාංකික අප සදාචාරාත්මක මිනිස් කොට්ඨාසයක් ලෙස පළමුව තම අධ්‍යාත්මික සාමය ළඟා කරගැනීමට කටයුතු කළ යුතුය.

    ශ්‍රී ලංකාව තුළ නව පුනරාගමනයක් සනිටුහන් කළ යුගයක, ලබා ගත් නිදහස නොනැසී පවත්වාගෙන යාමටත්, අනාගත පරපුරට සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් උරුම කර දීමත් අප සැමගේ ජාතික වගකීමකි. වර්තමානයේ හිස ඔසවන්නට වෙර දරණ ජාතික හෝ ආගමික බෙදුම්වාදයේ විවිධ ස්වරූපයන් අභිමුව එකී අවස්ථාවන් අප බුද්ධිමත්ව තේරුම් ගත යුතුය.

    අප ලබා ගත් සාමය සියලු ජාතීන් වෙනුවෙන් ඉදිරියට රැක ගැනීමටත්, ලොවට පරමාදර්ශී රටක් ලෙස භෞතික සහ අධ්‍යාත්මික සංවර්ධනය කරා ශ්‍රී ලාංකිකයන් ලෙස සාමය මූලික ගමනක යෙදීමට මෙවර ලෝක සාම දිනයේදී පෙළ ගැසෙමු.

    Latest News