2025 වනවිට, සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක ආදායමක්

සැප් 27, 2020

    2025 වනවිට, සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක ආදායමක් ලබාගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියා කරන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ලෝක සංචාරක දිනයට සමගාමීව, පැවති සැමරුම් උත්සවයට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය ලෝක සංචාරක දිනය ලෙස, ප්‍රකාශයට පත්කර ඇත්තේ සැප්තැම්බර් 27 වැනිදායි. ප්‍රථම වරට ලෝක සංචාරක දිනය සැමරුවේ 1980දී.

    “සංචාරක කර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධනය“ යන්න මෙවර තේමාවයි. ලෝක රැකියාලාභීන් අතරින් 10%ක් නියෝජනය කරන්නේ සංචාරක කර්මාන්තයයි. ජාත්‍යන්තර ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයෙහි භූමිකාව පිළිබඳව අවබෝධය නංවාලීම මෙම දිනයේ අරමුණක්.

    ජාත්‍යන්තර සංචාරක දින සැමරුම මෙවර පැවැත්වුනේ මහනුවරදී. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. එය පැවැත්වුණේ, මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික් සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයකට සමගාමීවයි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Latest News