නිල් මැණික් බුදුපිළිමයක් සමග හතරක් අත්අඩංගුවට

ඔක් 05, 2020

    රුපියල් කෝටි අටසීයකට නිල් මැණික් බුදුපිළිමයක් මොනරාගල දී අලෙවි කිරීමට ගිය හතරක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (4) දින මොනරාගල කුඹුක්කන වෙල්ලච්චි කඩේ ප්‍රදේශයේ දී සිදු කළ හදිසි වැටලීමකදී නිල් මැණික් බුදු පිලිමයක් රුපියල් කෝටි අටසීයකට අලෙවි කිරීමට උත්සාහ කිරිමේ දී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

    නිල්මැණික් බුදුපිළිමයක් අලෙවි කරන බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව රුපියල් කෝටි අටසීය රුපියල් කෝටි හයසීයකට අඩුකර මෙම ගණුදෙනුව සිදු කිරීමට පොලිස් උපායදූතයා සමගින් සැකකරුවන් සාකච්ඡා කරගෙන ඇත.

    පසුව එම බුදුපිළිමයේ ගණුදෙනුව වෙනුවෙන් සාකච්ඡා කරගත් පරිදි මොනරාගල වෙල්ලච්චි කඩේ ප්‍රදේශයේ දී සිදු කිරීමට ජාවාරම්කරුවන් සමග සාකච්ඡා කළ පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ දී ජාවරම්කරුවන් සාර්ථකව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

    මෙහිදී අලෙවි කිරීම සදහා රැගෙන ආ බුදුපිළිමය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ජාවාරම සදහා මෝටර් රථයේ පැමිණි ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් හතර දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සාලියපුර, මහකනදරාව සහ රබෑව යන ප්‍රදේශවල පදිංචි පිලිවෙලින් වයස අවුරුදු විසිහය, තිහ සහ හතලිහ යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පැවසීය.

    තවත් සැකකරුවන් තිදෙනකු මෙහෙයුම අතර තුර පලාගොස් ඇති අතරඑම සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සදහන් කළේ ය.

    සැකකරුවන් පැමිණි සුපෝකභෝගි මෝටර් රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද (5 )ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කරයි.

    Latest News