දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,069 දක්වා ඉහළට

ඔක් 09, 2020

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,069 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඉකුත් 05 වැනිදා වනවිට දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 103ක්. 06 වැනිදා රෝගීන් 729 දෙනෙකු වාර්තා විය. ඊට පසු දින වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 202ක්. ඊයේ තවත් රෝගීන් 19ක් හඳුනා ගැණින. අද දවසේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 16ක්. ඒ අනුව, දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,069 දක්වා ඉහළ ගියේය.

    ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 වැළඳුණු කාන්තාව ගිය ආපන ශාලා, කඩ සාප්පු ඇතුලු ස්ථාන කිහිපයක සේවකයින්ගේ PCR පරීක්‍ෂණ සිදු කෙරිණ. එම කාන්තාව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක්.

    හොරණ ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 වැළඳුණු රෝගියාගේ බිරිඳට ද රෝගය වැළඳී තිබේ. ඇය සේවය කළේ, හොරණ මූලික රෝහලේ. ඇයත් සමඟ සේවය කළ රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙකුට ද වෛරසය ආසාදනය වී තිබේ. කාර්ය මණ්ඩල සේවිකාව නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කෙරිණ. පස්වන වාට්ටුවේ රෝගීන් වෙනත් වාට්ටුවකට යොමුකර තිබේ.

    එම වාට්ටුව විෂබීජානුහරණයෙන් පසු, කොවිඩ් 19 සැකසහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදවන බව, එම රෝහල වාර්තා කරයි. රෝගීන් දෙදෙනාගේ ආශ්‍රිතයන් 41කගේ PCR පරීක්‍ෂණ සිදු කෙරිණ.

    ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි, තහවුරු වී තිබේ. එම රෝගියා ඊයේ රාත්‍රියේම ජාතික බෝවන රෝග විද්‍යායතනයට වෙත යොමු කෙරිණ.

    කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගය වැළඳුණු කාන්තාවකගේ ආශ්‍රිතයන් 43 ක් PCR පරීක්‍ෂණවලට යොමු කර තිබේ. ඇය, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක්. ආශ්‍රිතයන් පිරිස නිරෝධායනයේ පසුවේ.

    රිජ්වේ ආර්යා ළමා රෝහලට අනවශ්‍ය ලෙස නොපැමිණෙන්නැයි එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඉල්ලීමක් කරයි. රෝහලට සම්බන්ධ 2කට කොවිඩ්-19 රෝගය වැළඳී තිබීම ඊට හේතුවයි.

    රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා මිනුවන්ගොඩ සිට පැමිණි දරුවෙකුට සහ රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා දරුවෙකුගේ පියෙකුට රෝගය වැළඳී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධ PCR පරීක්‍ෂණ ක්‍රියාත්මකයි. රෝහල තුළ දැඩි අවදානමක් නොමැති වුවද, රෝගියා සමඟ අයෙකුට පමණක් පැමිණෙන ලෙසයි, රෝහල් පරිපාලනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    කොටිකාවත්ත සහ අංගොඩ ප්‍රදේශ කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට සැක සහිත පවුල්වල සාමාජිකයන් PCR පරීක්‍ෂණවලට යොමු කෙරිණ.

    පින්නවල බ්‍රැන්ඩික්ස් නිරෝධායන මධ්‍යස්ථානයේ 248 දෙනෙකුගේ PCR පරීක්‍ෂණ සිදු කෙරිණ. ඔවුන් බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගැනුණු කොවිඩ් 19 රෝගීන්ගේ සමීපතමයින්.

    තාවකාලිකව වසා දැමුණු මිනුවන්ගොඩ පොලිස් ස්ථානය අද යළි විවෘත කෙරිණ. එහි ආපන ශාලාවේ අයිතිකරුට කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙනුයි පොලිස් ස්ථානය වසා දැමුණේ. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ඔහුගේ පුත්‍රයාගෙන් මෙම පුද්ගලයාට රෝගය වැළඳෙන්නට ඇති බව වාර්තාවේ. මෙහි රැඳී සිටි පොලිස් නිලධාරීන් කටාන පොලිස් අභ්‍යාස ආයතනයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරිණ. පොලිස් ස්ථානය විෂබීජානුහරණයට ලක් කිරීමෙන් අනතුරුව විවෘත කෙරිණ. මේ වනවිට එහි රාජකාරි කරන්නේ, වෙනත් පොලිස් ස්ථානවලින් පැමිණි නිලධාරීන් විසින්.

    වෙන්නප්පුව ප්‍රදේශයේ සිට මන්නාරම රදගුරු නිවසට අයත් ඉඩමක ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ. එම පුද්ගලයාගේ ආශ්‍රිතයන් 35ක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරිණ. මන්නාරම රදගුරු නිවස ද තාවකාලිකව වසා දැමිණ.

    ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවකයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ. එහි සේවකයන් 7ක් නිරෝධායනයට යොමු කර ඇති අතර, 70කගේ පමණ PCR පරීක්‍ෂණ සිදු කෙරිණ. එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ රෝගියෙකුගේ ආශ්‍රිතයෙක්.

    දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කොරෝනා වෛරස් ආසාදිතයින්ට සහ වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති පුද්ගලයින්ට ඖෂධ කිහිපයක් නිපදවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

    ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්නයක් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව හඳුන්වා දී තිබේ. ඖෂධ අද පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්විය.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් එළඹෙන 12 වැනිදා සිට 16 දක්වා විවෘත නොකිරීමට තීරණය කර තිබේ. එම කාලයේදී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල වසා තැබෙනු ඇත.

    වනෝද්‍යාන සහ සත්වෝද්‍යානවලට ඇතුළුවීම හෙට සිට සීමා කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

    කොවිඩ් වසංගතය දැඩි ලෙස ව්‍යාප්තව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු ලබන 17 දක්වා අත්හිටුවීමට තීරණය කර තිබේ. කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ද, ලබන 17 දක්වා අත්හිටුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    මධ්‍යම තැපැල් හුවමාරුව ඔස්සේ, ව්‍යාපාරික තැපැල් සේවා ලබා ගන්නා ආයතනවල තැපැල් භාණ්ඩ, තැපැලට යොමු කිරීමට වාණිජ අංශයේ සහකාර අධිකාරිවරයා අමතා වේලාවක් වෙන්කර ගන්නා ලෙස ඉල්ලීමක් කෙරේ.

    යළි දැනුම් දෙනතුරු අගරදගුරු පදවියේ සියලු කතෝලික පෞද්ගලික පාසල් සහ දහම් පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    එකම අවස්ථාවේ නමස්කාර කිරීම් සඳහා 100කට වඩා සිටින හින්දු කෝවිල්වල එම සංඛ්‍යාව 50කට සීමා කර තිබේ. එක් වරකට 50කට නමස්කාර කිරීමට නොහැකි කෝවිල්වල සමාජ දුරස්ථභාවය ආරක්‍ෂා කර ගනිමින් 50%කට පමණක් ඊට අවසර දී ඇතැයි හින්දු ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පනවා ඇති ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලට ඇතුළුවීම සහ පිටවීම තහනම්. අදාළ ප්‍රදේශවල පුද්ගලයින් නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා මෙහෙයුම ක්‍රියාත්මකයි.

    දුර ගමන් සේවා බස්රථවලට එම ප්‍රදේශ ඔස්සේ ගමන් කළහැකි වුව ද, මගීන් නංවා ගැනීම සහ බැස්සවීම තහනම්. අනෙකුත් ප්‍රදේශවල පිරිස් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න සොයා බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්වේ.

    මේ අතර, ඇඳිරි නීති පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ඔසුසැල්, සතොස වැනි ස්ථාන විවෘත කර තැබේ.

    සෞඛ්‍ය උපදෙස් නොතකා හැටන් නගරයේ රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වසා දමා තිබේ.

    Latest News