අගමැති-චීන දූත පිරිස හමුව

ඔක් 10, 2020

    චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ එහි විදේශ කටයුතු කොමිෂන් කාර්යාලයේ අධ්‍යක්‍ෂ යං ජියෙෂි මහතා ප්‍රමුඛ දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද මුණගැසුණි.

    හමුව සිදු වූයේ අරලියගහ මන්දිරයේදී. කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්‍ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා-චීන සහයෝගීතාව තවත් ශක්තිමත් කිරීම මේ හමුවේ අරමුණයි.

    දූත පිරිසේ ප්‍රධානී යං ජියෙෂි මහතා නැවත වරක් ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ගැන සතුට පළ කළ අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව සෑමවිටම දෙරට අතර සමීප සහයෝගීතාව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

    ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ චාරිකාවක නිරත වන පළමු අවස්ථාව මෙයයි. මෙම චාරිකාව තුළින් ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කර ගැනීමට දෙරටට හැකිවීම ගැන අග්‍රාමාත්‍යවරයා සිය සතුට පළ කළේය.

    ආරක්‍ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම් සිදු කරමින් කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නොමසුරුව සහයෝගය දැක්වීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා චීන රජයට කෘතඥතාව පළ කළේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවීමේදී ආයෝජකයින් අතර විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය භාවිත කිරීමට හැකිවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. වසංගත තත්වයෙන් පසු ශ්‍රී ලංකා රජය ලොව පුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවන අතර එහිදී ප්‍රමුඛතාව වන්නේ කොළඹ වරාය නගරයයි.

    ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන සිදු කිරීම සඳහා තම රටේ සමාගම් දිරිමත් කිරීමට චීන රජයට හැකිවනු ඇති බවට අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරමින් මෙරට සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට සහ ලොව පුරා සංචාරකයින් සඳහා ආරක්‍ෂිත ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව උනන්දුවන බව ද සාකච්ජාවේදී ප්‍රකාශ කෙරිණ.

    මතුවන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බව රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය. චීන දූත පිරිසේ ප්‍රධානී යං ජියෙෂි මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ බැඳීම මේ දක්වා යාවත්කාලීන වෙමින් පවතින බවයි.

    ශ්‍රී ලංකාව කොවිඩ්-19 තත්වය සාර්ථක ලෙස පාලනය කර තිබේ. ආර්ථික සහයෝගීතාවයේ දී ලැබූ ජයග්‍රහණ චීනයට මෙන්ම ශ්‍රී ලංකාවට ද පවතී.

    සංචාරක ක්‍ෂේත්‍රය දෙරට අතර සබඳතාවන්ට බෙහෙවින් වැදගත්. වසංගත තත්වය පාලනය කෙරුණු වහාම එම සබඳතා බාධාවකින් තොරව නැවත අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි, චීන දූත පරිස විශ්වාසය පළ කළේය.

    ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන මෙම චාරිකාව මගින් දෙරට අතර සබඳතා තවත් පුළුල් වනු ඇති බවට යං ජියෙෂි මහතා විශ්වාසය පළ කළේය. මැති-ඇමතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News