අගමැතිගේ චරිතාපදානය චීන බසට

ජන 18, 2019

    චීන බසින් පළ කෙරුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18) අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි.

     සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලදුව මහාචාර්ය වං යූ මහත්මිය හා මහාචාර්ය යින් ජින්ශන් විසින් චීන බසට පරිවර්තනය කෙරුණු වික්‍රමසිංහ චරිතාපදානය ප්‍රකාශයට පත් කරන ලද්දේ චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය, බෙයිජිං හි යැන්ශි මුද්‍රණාලය හා ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රකාශකයන් විසිනි.

    ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.

    චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය විසින් චීනය පුරා සිය පොත් අළෙවිහල් හා පුස්තකාල මගින් මෙම කෘතිය ජනතාව අතරට යොමු කෙරෙන බව එම ආයතනයේ නියෝජ්‍ය සභාපතිනි ෂ අයිවෙයි මහත්මිය පැවසුවාය.

    චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එක්ව ශ්‍රී ලංකා – චීන විශ්ව කෝෂයක් සැකසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ වන විටත් චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය ඉන්දියාව සමග එක්වී ඉන්දු – චීන විශ්වකෝෂය සකස් කර ඇත.

    ශ්‍රී ලංකා – චීන විශ්ව කෝෂය පිළිබඳ ශ්‍රී ලංකා සහ චීන විද්වතුන් හා වෘත්තිකයන් අතර සාකච්ඡා හෙට සහ අනිද්දා සංවිධානය කර ඇති බව සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේය.

    ආචාර්ය චෙන් යිං, මහාචාර්ය ටොං ජියාමෙන්, මහාචාර්ය ගොං ලි, මහාචාර්ය ෂුයෙ කෙජියාඕ, මහාචාර්ය ලියු ජියැන්, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගමයෙ සභාපති විජිත යාපා, සරසවි ප්‍රකාශන අධිපති එච් ඩී ප්‍රේමසිරි, සම්පත් බණ්ඩාර, සරසවි ප්‍රකාශන කළමනාකාර ශ්‍රීපාලි පෙරේරා සහ පොත් ප්‍රකාශන සංගමයේ දිනේශ් කුලතුංග සහ අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    Latest News