ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන සියල්ල මිලදී ගැනීමට රජය සූදානම් (වීඩියෝ)

දෙසැ 17, 2020
  • ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන සියල්ල මිලදී ගැනීමට රජය සූදානම් බව, ආර්ථික පුනර්ජීවණය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    එමගින් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කිරීම රජයේ අපේක්ෂාවයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ "ගම සමඟ පිලිසඳරක් තුලින් වැඩ සමඟ යළි ගමට" ජාතික වැඩසටහනේ මධ්‍යම පළාත් සාකච්ජාවට අද එක්වෙමින්. එය පැවැත්වුණේ, මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී.

    ගමේ සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා සංවර්ධන නිලධාරීන් සමඟ එක්ව ක්‍රියා කළ යුතු බව, බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. සංවර්ධනයේ සැබෑ ඉලක්ක ග්‍රාමීය ජනතාවට ලබාදිය හැක්කේ, ඉන් අනතුරුවයි.

    කෘෂි බිම්වලට වන සතුන්ගෙන් වන හානිය මධ්‍යම පළාතට බලපාන ප්‍රධාන ගැටලුවක්. එය අවම කරගත හැකි ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණ. වගා කටයුතු නොකෙරෙන රජයේ ඉඩම් වගාවන් සඳහා ලබාදීමට රජය තීරණය කර ඇති බව ප්‍රකාශ කළ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රාදේශීය මට්ටමෙන් ඒ පිළිබඳ තීන්දුවක් ගත යුතු බව ද කියා සිටියේය.

    ග්‍රාමීය සංවර්ධන යෝජනා සහ එහි පවතින ගැටලු ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී සාකච්ජා කළ හැකිය. දිවයින පුරා විසිර පවතින එම කමිටු ලබන 21 සහ 22 දෙදින කැඳවීමට නියමිතයි. ග්‍රාම සේවා වසම් 14,021 තුළම මෙම රැස්වීම් සංවිධාන කළ යුතුවේ.

    එහිදී ගන්නා යෝජනා ප්‍රමුඛතාගත කොට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවන යෝජනාවලට මුල්තැන ලබාදෙන බව, බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. පසුගිය කාලයේ අතහැර දැමූ යෝජනා ක්‍රමවලට ද ප්‍රමුඛතාව ලබාදෙන අතර සෑම ගමකටම එවැනි ව්‍යාපෘතියක් තෝරාගත යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    මෙවර ඉදිරිපත් කර ඇත්තේ, රටේ අනාගත දිශානතිය තීරණය කරන අය-වැයක් බැවින් එහි සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මහජන නියෝජිතයින්ගෙන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ගේ සහ ජනතාවගේ ද සහය අවශ්‍ය බව, බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. සෑම ගමක් ආශ්‍රිතව කාන්තා ව්‍යවසායකයෙකු නිර්මාණය කිරීමට මෙවර අයවැයෙන් ගෙන ඇති යෝජනා පිළිබඳ පැහැදිලි කළ බැසිල් රාජපක්ෂ මහතා... ජනතා නියෝජිතයින්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් ද සාකච්ජාවට එක්වූහ.

    ඌව පළාත් සාකච්ජාව හෙට පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 දෙසැම්බර් 2020 22:15

    Latest News