MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටවුවද මිතුරෙකු හා හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව සහය

දෙසැ 17, 2020

    ශ්‍රී ලංකාව සමඟ MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටවුවද මිතුරෙක් හා හවුල්කරුවෙකු ලෙස මෙරටට අඛණ්ඩ සහය ලබාදෙන බව අමෙරිකාව පවසයි.

    මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් හෙවත් MCC ගිවිසුම ක්‍රියාත්ම කරනු ලබන අමෙරිකානු සමාගම යෝජිත වැඩසටහනෙන් ඉවත්වීමට තීරණය කලේ, පසුගිය 15 වැනිදා. ඒ වොෂිංටනයේ පැවති එහි පාලක මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයකට අනුවයි.

    MCC අධ්‍යක්ෂ මණ්ඩලය එහිදී තවත් රටවල් කිහිපයක් ආධාර ලබාදීමට තෝරාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. ඔවුන් සඳහන් කලේ, ඒ අනුව මෙරටට වසර 5ක් සඳහා ලබාදිමට නියමිතව තිබූ රුපියල් බිලියන 89ක ආධාර මුදල ද ඒ සමඟ අවලංගු වන බවයි.

    කෙසේ වුවද, ගෝලීය කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී සහ මෙරට ආර්ථිකය ගොඩ නැංවීමේදී ඉදිරියටත් අඛණ්ඩව සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙහි සඳහන්.

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගමේ සහශ්‍ර අභියෝගතා සංවර්ධන වැඩසටහන හෙවත්, MCC වැඩසටහන සමඟ ගිවිසුම් ගතවීමට පසුගිය යහපාලන රජය විසින් පියවර ගෙන තිබිණ. ඒ අනුව, 2016 වසරේදී අදාළ වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය.

    2017 දී ඊට අදාළ ව්‍යාපෘති යෝජනා ශ්‍රී ලංකාව විසින් MCC ආයතන වෙත ඉදිරිපත් කරනු ලැබීය. 2018 වසරේදී MCC කළමණාකාරිත්වය අදාළ ව්‍යාපෘති යෝජනා අනුමත කළේය. 2019 එහි පාලක මණ්ඩලය මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 480ක් එනම්, රුපියල් බිලියන 89ක මූල්‍යාධාරයක් ලබාදීම සඳහා වන ගිවිසුම අත්සන් කෙරිණ.

    එම වසරේදී පැවති රජයේ අමාත්‍ය මණ්ඩලය එම ගිවිසුම අනුමත කළේය. එහි ඉදිරි පියවර පිළිබඳ සාකච්ජාවක් ද මේ වසර මුලදී පවත්වා තිබේ. පැවති රජය සමයේ බලාත්මක කිරීමට පියවර ගත් මෙම ගිවිසුමට එවක විපක්ෂය ලෙස ක්‍රියා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් විරුද්ධත්වය පළ කළේය.

    ඒ, MCC ගිවිසුමෙන් මෙරට ස්වෛරීභාවයට, නිදහසට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බවට එල්ලවූ මතවාද හේතුවෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ යෝජිත MCC ගිවිසුම වැඩසටහන සහ ඊට අදාළ ගිවිසුම් නැවත සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිනිස විශේෂ කමිටුවක් පත් කෙරිණ.

    ඒ අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුවයි. අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් පසුගිය ජනවාරි පළමුවැනිදා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල විද්වත් කමිටුවක් MCC ගිවිසුම අධ්‍යයනය කිරීමට පත් කරනු ලැබීය.

    එම කමිටුව විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කලේය. නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව පසුගිය ජුනි 25 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාරදෙනු ලැබීය. අදාළ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීති පද්ධතියට බලපෑම් එල්ලවන බව එමගින් පෙන්වා දී තිබේ.

    ඇතැම් වගන්ති හා ප්‍රතිපාදන ජාතික අරමුණුවලට, ස්වෛරීභාවයට හා ජාතික ආරක්ෂාවට අගතිකාරි ලෙස බලපෑ අයුරු ද කමිටු වාර්තාවෙන් අවධානය යොමුකර තිබිණ. එවැවින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි MCC ගිවිසුම පවතින අයුරින් අත්සන් නොකරන ලෙස කමිටුව රජයට නිර්දේශ කර තිබිණ.

    Latest News