පෙරහර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් හිඟය ජනපති අවධානයට ...

මාර් 12, 2021

    හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍යය පැවැත්වීමේ දී මතුව ඇති ගැටලු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන මහා සංඝරත්නය ගැටලුව විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කරති.

    පෙරහර මංගල්‍යය අතීතයේ සිට පැවත එන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයකි. බෞද්ධ සංස්කෘතිකාංග සුරැකීමට මහා සංඝරත්නය සේම රජය ද බැඳී සිටින බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

    පෙරහර මංගල්‍යය සදහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.

    මහා සංඝරත්නය සහ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ඇතුළු සෙසු ඓතිහාසික පෙරහර මංගල්‍යය සඳහා අවශ්‍ය හිලෑ අලි ඇතුන් සොයා ගැනීමට නොහැකි වීමෙන් මතුව ඇති ගැටලු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

    80 දශකය වන විට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 300ත් 350ත් අතර පැවතිණ. දැන් එය 107 කි. ඉන් 80ක් පමණ දැන් වයස අවුරුදු 50 ඉක්මවා සිටිති. පෙරහර සඳහා අලි ඇතුන්ගේ විශාල අඩුවක් පවතින බව අනාවරණය කෙරිණ.

    පෙරහර චාරිකාවට සුදුසු අලියෙකු හෝ ඇතෙකු පුහුණු කිරීමට වසර 3ක පමණ කාලයක් ගතවන බව හීලෑ අලි ඇතුන් හිමිකරුවෝ පෙන්වා දුන්හ. අතීතයේ සිට සෑම රාජ්‍ය නායකයෙකුම වෙහෙර විහාරස්ථාන සඳහා අලි ඇතුන් පූජා කර තිබේ. මියන්මාරය, බුරුමය, තායිලන්තය වැනි රටවලින්ද රාජ්‍ය තාන්ත්‍රික පදනමින් විහාරස්ථාන සඳහා අලි ඇතුන් තෑගි කිරීම සම්ප්‍රදායක්ව පවතින බව මහා සංඝරත්නය සඳහන් කළහ.

    අලි ඇතුන් නඩත්තුව සහ රැකබලා ගැනීම මනාව කළයුතු බවත් ඔවුන් මියගිය පසු පාංශුකූලය දීම, පින් අනුමෝදන් කිරීම වැනි සම්ප්‍රදායන් වර්තමානය දක්වාම පවතින බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

    පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලි ඇතුන් ගහණයක් රටට අවශ්‍ය බව තමා ද දැඩි සේ විශ්වාස කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්‍ෂණය පිළිබඳ කොන්දේසී සැකසීමේදී හිමිකරුවන් සමඟද සාකච්ඡා කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන, කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ සභාපති නිලංග දෑල යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 12 මාර්තු 2021 20:23

    Latest News