“අලිමානා“ තෘණ විශේෂයෙන් කඩදාසි නිෂ්පාදනයට (වීඩියෝ)

මාර් 13, 2021
  • “අලිමානා“ තෘණ විශේෂයෙන් කඩදාසි නිෂ්පාදනය කිරීම පිළිබඳ පුහුණුවක්, මැදවච්චිය-සුදර්ශනගම ප්‍රදේශයේදී පසුගියදා පැවැත්විණ.

    කාන්තා සතිය වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මකයි. “අලිමානා“ තෘණ විශේෂය ශීඝ්‍රයෙන් බෝවීම නිසා වගාවන්ට ද හානි සිදුවේ. එය විනාශ කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීමට ගොවීන්ට සිදුවේ. නමුත්, මෙම “අලිමානා“ තෘණ විශේෂයෙන් කඩදාසි නිෂ්පාදනය කිරීමට මැදවච්චිය, දම්මික රන්සිරිගේ මහතා සමත් වී තිබේ.

    ඒ වසර 10ක් පමණ සිට කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ අනුව, ඔහු පදවිය සුදර්ශනගම ප්‍රදේශයේ කාන්තාවන්ට මේ පිළිබඳ පුහුණුවක් ලබා දුන්නේය. ඒ, ස්වයං රැකියාවක් ලෙස මෙම වෘත්තීයේ නියැලීමට අවස්ථාව සලසා දෙමින්. මෙම කඩදාසිවලින් කේක් පෙට්ටි, මංගල ඇරයුම්පත්, අත් බෑග් ඇතුළු නිපයුම් සකස් කර ගත හැක.

    නොදිරන ද්‍රව්‍යවලින් සකස් කර ගන්නා එවැනි නිර්මාණ වෙනුවට මෙම “අලිමානා“ තෘණ විශේෂයෙන් සකස් කර ගන්නා නිර්මාණ භාවිතයට ගැනීමේ හැකියාව පවතී. මෙම කඩදාසි නිමයුම් සඳහා වෙළෙඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව ධම්මික රන්සිරිගේ මහතා පවසයි.

    ඊට අවශ්‍ය උපකරණ සඳහා වෙළෙඳපොළේ රුපියල් ලක්‍ෂ 7ක පමණ මුදලක් වැය වුවද, ඉතා අඩු මුදලකින් අවශ්‍ය උපකරණ සකස් කිරීමට ඔහු සමත් වී තිබේ. ගම්මාන 20ක පමණ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඔහුගේ අරමුණයි. ඒ සඳහා රජයේ සහාය ලබාදෙන ලෙස, ධම්මික රන්සිරිගේ මහතා ඉල්ලා සිටී.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 20:06

    Latest News